ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ කාන්තා එක්දින තරගාවලියේ අවසන් මහා තරගය අද දිනයේදී පැවැත්විණි. කොළඹ BRC ක්‍රීඩාංගණයේදී පැවති මෙම තරඟය වෙනුවෙන් සුදුසුකම් ලබා සිටියේ ගුවන් හමුදා ක්‍රීඩා සමාජ කණ්ඩායම සහ යුද හමුදා ක්‍රීඩා සමාජ කණ්ඩායමයි. තරගය කාසිය වාසිය දිනා ගත් යුද හමුදා ක්‍රීඩිකාවන් පළමුව පන්දුවට පහර දීමට තීරණය කළහ.

එය ආරාධනයෙන් පිටියට පිවිසෙන යුධ හමුදා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 8ක් දැවී ලකුණු 154 රැස් කිරීමට සමත් විය. එහිදී අගනා ඉනීමක් ක්‍රීඩා කළ නිලක්ෂි ද සිල්වා පන්දු 105 තුළදී හතරේ පහර හතරක් සහ ඒක හයේ පාරක් සමගින් ලකුණු 72ක් රැස්කිරීමට සමත් විය.පන්දු යැවීමේදී ගුවන් හමුදා පිළ වෙනුවෙන් ඕෂධී රණසිංහ ලකුණු 20ට කඩුලු තුනක්ද, ඉනෝෂි ප්‍රනාන්දු සහ මල්ෂා ශෙහානි කඩුලු 2 ක බැගින් ද දවා ගැනීමට සමත් විය.

ජයග්‍රහණයේ අදිටනින් පිටියට පිවිසෙන ගුවන් හමුදා ක්‍රීඩිකාවන් පන්දු වාර තිස් අටක් අවසානයේදී කඩුලු තුනක් පමණක් දැවී ලකුණු 110ක් රැස්කොට සිටියදී තරඟයට වර්ෂාව හරස් විය. නමුත් ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ඒ වන විට ජයග්‍රහණය වෙනුවෙන් රැස්කළ යුතුව තිබුණේ ලකුණු සියයක් පමණි. ඒ අනුව ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු දහයක විශිෂ්ට ජයග්‍රහණයක් හිමිකර ගැනීමට ගුවන් හමුදා ක්‍රීඩිකාවන් සමත් විය. අන්තර් සමාජ එක්දින තරගාවලියේ ශූරියන් ලෙස කිරුළු දරන්නට මෙවර ගුවන් හමුදා ක්‍රීඩිකාවන්ට හැකි විය. ගුවන් හමුදාපිල වෙනුවෙන් ඕෂධී රණසිංහ පිත්තෙන්ද දස්කම් පාන්නට සමත් වූයේ පන්දු 32ක් තුළ අගනා ලකුණු 34ක් රැස් කරමිනි. තුන් ඉරියව්වෙන්ම දස්කම් පෑ ඕෂධී රණසිංහ අවසන් මහා තරගයේ වීරයා ලෙසින් ද සම්මානයට පාත්‍ර විය.