අන්තර් සමාජ තුන් දින තරගාවලියේ අවසන් මහා තරගය අද දිනයේදී කොළඹ NCC ක්‍රීඩාංගණයේදී ආරම්භ විය. අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූවේ පොලිස් ක්‍රීඩා සමාජය හා SSC ක්‍රීඩා සමාජයයි. ක්‍රීඩාංගණයේ පැවති තෙතමනය හේතුවෙන් කාසිය වාසිය උරුගා බැලීමද මදක් පමා විය. තරගයේ කාසිය වාසිය දිනූ පොලිස් ක්‍රීඩා සමාජ කණ්ඩායමේ නායක අශේන් බණ්ඩාර පළමුව පන්දුවට පහර දීමට ප්‍රතිවාදීන්ට ආරාධනා කළහ.

ඒ අනුව පිටියට පිවිසෙන SSC ආරම්භක පිතිකරු යුගලය වූ අවිශ්ක ප්‍රනාන්දු හා ශෙවෝන් ඩැනියල් පළමු කඩුල්ල වෙනුවෙන් අගනා ශතක සබඳතාවක් ගොඩනගන්නට සමත් විය. දිවා විවේකයට පන්දු කිහිපයක් ඉතිරිව තිබියදී නෙල්සන් ලකුණු පුවරුවක් දිස්වූ මොහොතක කුසල් ජනිත් පෙරේරාගේ විශිෂ්ට උඩපන්දු රැකගැනීම හමුවේ ශෙවෝන් ඩැනියල්ගේ ඉනීම ලකුණු 56කදී නිමාවට පත් විය.

SSC කණ්ඩායම වෙනුවෙන් අගනා ඉනීමක් ක්‍රීඩා කළ අවිශ්ක ප්‍රනාන්දු පන්දු 137කදී හතරේ පහර 9ක් හා හයේ පහර 3ක් සමගින් අගනා ශතකයක් වාර්තා කරද්දී ලකුණු 109ක් රැස්කළ අවස්ථාවේදී ඔහුව ක්‍රීඩාගාරයට හරවා යවන්නට නලින් ප්‍රියදර්ශන සමත් විය. SSC නායක නිපුන් ධනංජය ලකුණු 40ක් රැස්කළ අතර අයහපත් කාලගුණ තත්වය හමුවේ පන්දුවාර 63කදී අද දිනය අවසන් කරන විට SSC කණ්ඩායම කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 250ක් රැස්කළහ. එහිදී කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 29 රැස්කිරීමට සමත් විය.