අන්තර් සමාජ එක්දින තරගාවලියේ තවත් තරග 6ක් අද දිනයේදී පැවැත්විණි. මෙම තරග වලට අද දිනයේදී ද වර්ෂාවෙන් බාධා එල්ල වූ නමුත් තරග 4ක්ම ප්‍රතිඵල සහිතව අවසන් විය.

අද දිනයේදී පැවැති තරගවලින් වැඩිම ස්ව්
අවදානයක් යොමු වූ තරගය බවට පත් වූයේ SSC කණ්ඩායම හා NCC කණ්ඩායම අතර තරගයයි. මෙම තරගයේදී SSC කණ්ඩායම පන්දුවාර 45කදී ලකුණු 337ක් රැස්කළේ කඩුලු 7ක් දැවී තිබියදීය. එහිදී අවිශ්ක ප්‍රනාන්දු පන්දු 79කදී හතරේ පහර 7ක් හා හයේ පහර 6ක් සමගින් ලකුණු 100ක් රැස්කළ අතර චරිත් අසලංක ලකුණු 61ක් හා දසුන් ශානක පන්දු 26කදී හයේ පහර 6ක් සමගින් වේගවත් ලකුණු 53ක් නොදැවී රැස්කිරීමට සමත් විය. ඉලක්කය හඹායාමට පිටියට පිවිසෙන NCC කණ්ඩායම පන්දුවාර 35 තුළදී කඩුලු 6ක් දැවී ලකුණු 248ක් රැස්කළහ. නමුත් වර්ෂාව හේතුවෙන් ඔවුන්ට හිමිවූ ඉලක්කය වූයේ පන්දුවාර 35කදී ලකුණු 263කි. ඒ අනුව මෙම තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 14ක ජයක් SSC කණ්ඩායමට හිමි විය. NCC කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට ඉනීමක් ක්‍රීඩා කළ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක පන්දු 96කදී හතරේ පහර 13ක් හා හයේ පහර 6ක් සමගින් ලකුණු 135ක් රැස්කළේය.

හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජය හා BRC ක්‍රීඩා සමාජය අතර තරගය පන්දුවාර 47කට සීමා වූ අතර ලකුණු 24කින් ජයග්‍රහණය කිරීමට සමත් වූයේ හලාවත මේරියන්ස් කණ්ඩායමයි. ඒස් කැපිටල්ස් කණ්ඩායම හා පානදුර ක්‍රීඩා සමාජය අතර පැවති තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යාය අනුව පානදුර කණ්ඩායමට ලකුණු 7ක ජයක් හිමි විය. පානදුර ක්‍රීඩා සමාජය වෙනුවෙන් රමින්ද්ද් විජේසූරිය පන්දු 90කදී අගනා ලකුණු 89ක් රැස්කිරීමට සමත් විය. බදුරලිය ක්‍රීඩා සමාජය සමග පැවති තරගයෙන් ලකුණු 75ක ජයක් හිමිකරගැනීමට යුධ හමුදා ක්‍රීඩා සමාජ කණ්ඩායම සමත් විය. එහිදී යුධ හමුදාව වෙනුවෙන් දිනේෂ් චන්දිමාල් පන්දු 66කදී ලකුණු 49ක් රැස්කිරීමට සමත් විය. මීගමුව ක්‍රීඩා සමාජය හා ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය අතර තරගය විසදුමකින් තොරව අවසන් විය. එහිදී මීගමුව ක්‍රීඩා සමාජය වෙනුවෙන් මිලින්ද සිරිවර්ධන පන්දු 39කදී වේගවත් නොදැවුනු ලකුණු 69ක් රැස්කළ අතර මීගමුව ක්‍රීඩා සමාජයේම ධනුෂ්ක සදරුවන් ලකුණු 15ට කඩුලු 4ක් බිදහෙලීය.