ආසියානු කුසලාන ඉතිහාසය තුළ ඉන්දු-ශ්‍රී ලංකා ගැටුමේ වැඩි ගෞරව කාටද

[vc_row][vc_column][vc_column_text]

ආසියානු කුසලාන ඉතිහාසයේ සාර්ථකම කණ්ඩායම් දෙක වනුයේ ශ්‍රී ලංකාව හා ඉන්දියාවයි. මෙවර ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි කණ්ඩායම් හතර වටයේ ඉන්දීය කණ්ඩායම සහභාගි වන දෙවන තරගය අද ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙයි. දෙරට අතර ආසියානු කුසලාන ඉතිහාසය කෙබදුද ?

ඉන්දු – ශ්‍රී ලංකා තරගය ආසියානු කුසලාන තරඟාවලියේ ක්‍රීඩා කරන තවත් එක් වැදගත් වටිනාකමක් සහිත තරගයක් ලෙස සැලකිය හැකිය. ආසියානු කුසලාන එක්දින තරඟාවලි ඉතිහාසය තුල කණ්ඩායම් දෙකම තරඟ 19කට ක්‍රීඩා කර ඇති අතර ශ්‍රී ලංකාව එහිදී වැඩි ජයග්‍රහණ ප්‍රමාණයක් ලබා ගැනීමට සමත් ව ඇත. ඒ අනුව ශ්‍රී ලංකාව තරග 19 න් 10 ක් ජයගෙන ඇති අතර ඉන්දියාව අනෙක් තරග 9 ජයගෙන ඇත. ආසියානු කුසලාන විස්සයි විස්ස තරඟවලදී කණ්ඩායම් දෙකම එක් තරගය බැගින් ජයග්‍රහණ ලබා ඇත.

ආසියානු කුසලාන ඉතිහාසය තුළ ශ්‍රී ලංකාව හා ඉන්දියාව පළමු වරට මුණ ගැසෙන්නේ සමාරම්භක තරගාවලිය වූ 1984 තරගාවලියේ පටන්ය. එවක එක්දින ලෝක ශූරයන් ලෙසින් කිරුලු දරා සිටි ඉන්දීය කණ්ඩායම හමුවේ ශ්‍රී ලංකා පිළට දැවැන්ත පරාජයක් උරුම විය. අනතුරුව 1986 වසරේ පැවති ආසියානු කුසලාන තරගාවලිය වර්ජනය කරන්නට එදා ඉන්දියාව තීරණය කරද්දී පළමු වරට ශ්‍රී ලංකාව ආසියානු ශූරයන් ලෙසින් අභිෂේක ලැබීය. 1988 වසරේ පැවති තරගාවලියේ මූලික වටයේ තරගයේදී අරවින්ද සිල්වාගේ පිතිහරඹයත් කපිල විජේගුනවර්ධනගේ අගනා පන්දු යැවීමත් හමුවේ පළමු වරට ඉන්දියාවට එරෙහිව ආසියානු කුසලාන එක්දින තරගයක් ජයගන්නට ශ්‍රී ලංකාවට හැකිවිය. නමුත් එවර අවසන් මහා තරගයේදී එම වාඩුව ගත් ඉන්දියානුවන් ශූරතාවය භාරත දේශය කරා රැගෙන යන්නට විය. 1990/91 හා 1995 වසර වලදී පැවති ආසියානු කුසලාන තරගාවලීන්හි අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකා පිළ ඉන්දියාව හමුවේ පරාජයට පත් විය.

අනතුරුව 1997 වසරේ පැවැති තරගාවලියේ මූලික වටයේ තරගයේදී අර්ජුනගේ නොදැවුනු විශිෂ්ට ශතකය හා අවසන් මහා තරගයේදී ක්‍රියාත්මක වූ මාවන්ගේ පිත්ත ශ්‍රී ලංකා පිළ එවක ආසියානු ශූරතාවය කරා රැගෙන යන්නට විය. 2004 වසරේ පැවති තරගාවලියේ දී කණ්ඩායම් දෙක අවස්ථා 3කදී මුහුණට මුහුණ තරග බිමට අවතීර්ණ විය. පළමු අවස්ථාවන් දෙකෙහිදී එක් තරගය බැගින් ජයග්‍රහණය කණ්ඩායම් දෙක අතර බෙදී ගියද අවසන් මහා තරගයේ පාලනය සියතට ගත් සිංහ පුතුන් ඉන්දීය කණ්ඩායමට එරෙහිව ලකුණු 25ක විශිෂ්ට ජයක් ලබමින් ආසියානු කුසලානය මෙරටට දිනා දෙන්නට සමත් විය. 2008 වසරේ පැවති තරගාවලියේ සුපිරි කණ්ඩායම් හතර වටයේදී ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් වුවද අවසන් මහා තරගයේදී එහි වාඩුව ගත් සිංහ පුතුන් එවර ද ආසියානු ශූරයන් ලෙසින් කිරුලු දැරීය. එම තරගයේදී සනත් ජයසූරිය ඉන්දීය පන්දු යවන්නට කදිමට බැට දෙද්දී ඔහුගේ ශතකයට සාධාරණයක් ඉටු කළ අජන්ත මෙන්ඩිස් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූයේ ඉන්දීය පිතිකරුවන් අන්ත අසරණභාවයට පත් කරමිනි.

2010 හා 2012 වසරේ පැවති තරගාවලීන් තුළදී වැඩි වාසි ඉන්දීය කණ්ඩායමට හිමි වූ අතර දෙරට අවසන් වරට ආසියානු කුසලාන එක්දින තරගයකදී මුණගැසුනේ 2014 වසරේදී ය. සංගක්කාරගේ අගනා ශතකයත් අජන්ත මෙන්ඩිස්ගේ පන්දු යැවීමත් හමුවේ ඉන්දීය කණ්ඩායමට එදින උරුම වූයේ පරාජයේ අමිහිරි මතකයන් පමණි. ආසියානු කුසලාන ඉතිහාසයේ අවසන් මහා තරඟ දෙස අවධානය යොමු කරන විට දෙපිල අවස්ථාවන් 8කදී එකෙනෙකා මුණ ගැසී ඇත. ඉන් අවස්ථවන් 5කදීම ජයග්‍රහණය වාර්තා කරමින් ආසියානු ශූරයන් බවට පත් වූයේ ඉන්දීය කණ්ඩායමයි.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top