ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වාගේ මඟපෙන්වීම යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) සහ විධායක කමිටුව විසින් 2023 ආසියානු ක්‍රීඩා උළෙලේ පදක්කම්ලාභීන් ඇගයීමට ලක් කොට ඇත. ඒ අනුව අද සවස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් 11 දෙනා සහ පුහුණුකරුවන් දෙදෙනෙක් පිළිගැනීම වෙනුවෙන් උත්සවයේ පැවති අතර ඊට ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා, උපසභාපති රවීන් වික්‍රමරත්න, භාණ්ඩාගාරික සුජීව ගොඩලියද්ද ඇතුලු පිරිසක් සහභාගි විය.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් උපදේශිකා තනතුර දරන ඔලිම්පික් පදක්කම් ලාභී සුසන්තිකා ජයසිංහ ද මෙම අවස්ථාවට සහභාගි විය. 2023 අවසන් වූ ආසියානු ක්‍රීඩා උළෙලේදී පදක්කම් දිනාගෙන රටට ආඩම්බරයක් ගෙන දුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මෙහිදී මුදල් ත්‍යාග පිරිනැමිණි.

ආසියානු ක්‍රීඩා උළෙලේ රන් පදක්කම්ලාභී තරුෂි කරුණාරත්න, රිදී පදක්කම්ලාභී නදීෂා දිල්හානි ලේකම්ගේ ඇතුළු ක්‍රීඩිකාවන් 09 දෙනෙකු ඇගයීමට ලක් කර මුදල් ත්‍යාග ප්‍රදානය කෙරිණි. තරුෂි කරුණාරත්නගේ පුහුණුකරු සුසන්ත ප්‍රනාන්දු සහ නදීෂා දිල්හානිගේ පුහුණුකරු ප්‍රදීප් නිශාන්ත යන පුහුණුකරුවන් ද මෙහිදී ඇගයීමට ලක් විය.

තරුෂි කරුණාරත්නට ඇය දිනූ රන් පදක්කමට රු.මිලියන 10ක මුදලක්ද රු. ඇයගේ ලෝකඩ පදක්කම වෙනුවෙන් රුපියල් මිලියනයක් ද, රිදී පදක්කම්ලාභී නදීෂා දිල්හානි ලේකම්ගේට රුපියල් මිලියන 5 ක මුදලක් ද පිරිනැමිණි. මේ අතර පසිඳු කොඩිකාර, අරුණ දර්ශන, කාලිංග කුමාරගේ, පබසර නිකූ, රාජිත රාජකරුණා, දිනුක දේශාන්, නදීෂා රාමනායක, සයුරු ලක්ෂිමා, සහ ජයේෂි උත්තරා යන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ද රුපියල් මිලියනය බැගින් වූ මුදල් ත්‍යාග පිරිණැමිනි.