ක්‍රීඩා රාජ්‍ය අමාත්‍යවරයා හා ජාතික නෙට්බෝල් සංචිතයේ ක්‍රීඩිකාවන් හමුවෙයි

ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මැතිතුමා හා මීලග ආසියානු ශූරතාවලිය සදහා පුහුණුවීම් සිදු කරන ජාතික නෙට්බෝල් සංචිතයේ ක්‍රිඩිකාවන් අතර සුහද සාකච්ඡාවක් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංශයේදී අද (13) දින පැවැත්විණි.

එහිදී පුහුණුවීම් කටයුතුවල ප්‍රගතිය හා ඉදිරි තරගාවලි සඳහා කණ්ඩායමේ සූදානම පිළිබඳව අමාත්‍යවරයා විසින් විමසා සිටියේය.  කණ්ඩායම සදහා අවශ්‍ය පහසුකම් හා අඩුපාඩු සම්බන්ධවද අවධානය යොමුකළ අතර කොළඹ 07, ක්‍රීඩා නේවාසිකාගාරය ඉදිරිපිට ඇති නෙට්බෝල් ක්‍රීඩාංගණය භාවිතයට ගැනීමට නොහැකි ලෙස පොළව අබලන් වී ඇති බව පෙන්වා දෙනු ලැබීය.

එම නෙට්බෝල් ක්‍රීඩාංගණය කඩිනමින්  අලුත්වැඩියා කර දීමට ක්‍රියාමාර්ග ගන්නා බව පැවසූ අමාත්‍යවරයා, පුහුණුවීම් කටයුතු සඳහා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාගාරය නොමිලේ වෙන්කරදීම සම්බන්ධයෙන් එම මොහොතේම එහි සභාපතිවරයා සමග දුරකථනයෙන් සාකච්ඡා කෙරිණි.

පුහුණුවීම් විධිමත් කිරීමට හා ජාත්‍යන්තර අත්දැකීම් බහුලව ලබා ගැනීමේත් අභිප්‍රායෙන් ජාතික නෙට්බෝල් සංචිතය විදේශ තරගාවලි සඳහා යොමු කිරීමටත්, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය වැනි රටවල විදේශ කණ්ඩායම් ශ්‍රී ලංකාවට ගෙන්වා තරගාවලි පැවැත්වීමටත් මෙම සාකච්ඡාව තුළදී විශේෂ අවධානයක් යොමු විය.

මෙවර කල්වේලා ඇතිවම ජාතික සංචිතය කැදවා ඔවුන්ගේ අවශ්‍යතා, අඩුපාඩු හා පුහුණුවීම් කටයුතු පිළිබදව සොයා බැලීම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය රෝහන දිසානායක මහතා හට ආසියානු හා ශ්‍රී ලංකා නෙට්බෝල් සම්මේලනයේ සභාපතිනි වික්ටෝරියා ලක්ෂ්මි මහත්මිය ඇතුළු නිළධාරීන්ගේ විශේෂ ස්තූතිය පිරිනැමීය. 

මෙම අවස්ථාවට ක්‍රීඩා රාජ්‍ය අමාත්‍යවරයාගේ උපදේශක හාරිෂ් රවීන්ද්‍ර, සම්න්ධීකරණ ලේකම් චාමර දන්තනාරායන, ආසියානු හා ශ්‍රී ලංකා නෙට්බෝල් සම්මේලනයේ සභාපතිනි වික්ටෝරියා ලක්ෂ්මි, ජාතික සංචිතයේ පුහුණුකාරිනී දීපි නාලිකා ප්‍රසාදි යන මහත්ම මහත්මීන් සහභාගී විය.

Back To Top