ශ්‍රී ලංකා ක්‍රිකට් විශේෂ විමර්ශන වාර්තාව හා ජාතික විගණන කාර්‍යාලය විසින් නිකුත් කල විශේෂ විගණන වාර්තාව ද, ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ විශේෂ විමර්ශන වාර්තාව සහ ක්‍රීඩා අමාත්‍යාංශය සිදුකල අභ්‍යන්තර විගණන වාර්තාව ද ඉදිරි නීති කටයුතු සඳහා ක්‍රීඩා වැරදි සෙවීමේ විශේෂ විමර්ශණ ඒකකය වෙත ක්‍රීඩා අමාත්‍යාංශයේ දී ඊයේ (10/03) දින භාර දෙනු ලැබීය.

2022 වර්ෂයේ ඕස්ට්‍රේලියාවේ පැවති T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආශ්‍රිතව විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මිය ඇතුළු පංච පුද්ගල කමිටුව විසින් විධිමත්ව සිදුකර 2023.04.04 දින නිකුත් කරන ලද විමර්ශන වාර්තාව ද ඒ සදහා ජාතික විගණන කාර්යාලය විසින් 2023.09.11 දින නිකුත් කරන ලද විශේෂ විගණන වාර්තාව ද,

ඒ හා සමානවම ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය වෙත සිදුකල විශේෂ විමර්ශනය කර 2023.04.04 දින නිකුත් කල විශේෂ විමර්ශන වාර්තාව ද, ඒ හරහා පාපන්දු සම්මේලනයේ වංචා දූෂණ සම්බන්ධව  ක්‍රීඩා අමාත්‍යාංශයේ අභ්‍යන්තර විගණන අංශයෙන් සිදුකල විගණන වාර්තාව ද,

ඉදිරි නීතිමය කටයුතු සඳහා ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංශ ලේකම් කේ. මහේසන් මහතා විසින් ක්‍රීඩා වැරදි සෙවීමේ විශේෂ විමර්ශණ ඒකකයේ අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති ඩබ්.ඒ.ජේ.එච්. ෆොන්සේකා මහතා වෙත භාර දෙන ලදී.

ඒ අනුව ඔවුන් මෙම විමර්ශන සම්බන්ධයෙන් ඉදිරි නීතිමය කටයුතු 2019 අංක 24 දරණ ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනතට අනුව සිදු කරනු ඇත.