ආසියානු ක්‍රීඩා තරගාවලියේ මළල ක්‍රීඩා තරග අද දිනයේදී ආරම්භක වුණා. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දෙදෙනකු හා එක් ක්‍රීඩිකාවක් අද දිනයේදී තරග බිමට අවතීර්ණ වුණා. මොවුන් තිදෙනාම අද දිනයේදී මීටර් 400 ඉසව්වේ මූලික වටය වෙනුවෙන් තරග බිමට අවතීර්ණ වුණා.

කාන්තා මීටර් 400 ඉසව්වේ දෙවන අදියර වෙනුවෙන් සහභාගි වූ නදීෂා රාමනායක එම අදියරේ දෙවැන්නිය ලෙසින් තරගය අවසන් කිරීමට සමත් වුණා. ඇය ඒ වෙනුවෙන් වැය කළ කාලය තත්පර 52.67ක් ලෙසින් සටහන් වද්දී මෙය ඇගේ දෙවන හොදම පෞද්ගලික කාලය ලෙසින් ද සටහන් වුණා. මීටර් 400 ඉසව්වේ සමස්ත කාලගණනය අනුව තෙවන ස්ථානය නදීෂාට හිමි වද්දී හෙට පැවැත්වෙන අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට ඇය සමත් වුණා.

කාගේත් අවදානය යොමු වූ මීටර් 400 පිරිමි තරග ඉසව්වේ පළමු අදියර වෙනුවෙන් කාලිංග කුමාර තරග බිමට අවතීර්ණ වුණා. ඔහු එම අදියර පළමු වැන්නා ලෙසින් අවසන් කිරීමට සමත් වූයේ තත්පර 45.577ක කාලයක් වාර්තා කරමින්. එම ඉසව්වේ තෙවන අදියර වෙනුවෙන් සහභාගි වූ අරුණ දර්ශන තෙවන ස්ථානය දිනාගන්නට සමත් වූයේ තත්පර 46.07ක කාලයක් වාර්තා කරමින්. මීටර් 400 පිරිමි සමස්ත කාලගණනය අනුව කාලිංග කුමාර තෙවන ස්ථානය හිමි කරගන්නට සමත් වද්දී මොවුන් දෙදෙනාම හෙට පැවැත්වෙන අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට සමත් වුණා. ශ්‍රී ලංකාව වෙනුවෙන් හෙට දිනයේදී පදක්කම් දිනා දෙන්නට ඔවුන්ට හැකිවේවායි සමස්ත ලාංකිකයන් වෙනුවෙන් Ceylon Sports අප උණුසුම් සුබපැතුම් එක් කර සිටිනවා.