චමරිගේ තුන් ඉරියව් දස්කම් සිඩ්නි තන්ඩර් පිළට තවත් ජයක් උරුම කරයි

බිග්බෑෂ් කාන්තා විස්සයි විස්ස තරගාවලියේ 44 වන තරගය අද දිනයේදී පැවැත්විණි. ඒ පර්ත් ස්කෝචර්ස් කණ්ඩායම හා සිඩ්නි තන්ඩර් කණ්ඩායම අතරයි. මෙම තරගයේ කාසිය වාසිය දිනූ සිඩ්නි තන්ඩර් කණ්ඩායම පළමුව පන්දු යැවීම තෝරාගත්හ

ඒ ආරාධනයෙන් පිටියට පිවිසෙන පර්ත් ස්කෝචර්ස් ක්‍රීඩිකාවන්ට නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 8ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 118ක් පමණි. එහිදී වැඩිම ලකුණු ලාභිනිය වූ ඇමී ජෝන්ස් ලකුණු 37ක් රැස්කිරීමට සමත් විය. පන්දු යැවීමේදී චමරි අතපත්තු ලකුණු 23කට කඩුලු 2ක් හා ලෝරෙන් ස්මිත් ලකුණු 12ට කඩුලු 2 බිදහෙලන්නට සමත් වූහ.

ඉලක්කය හඹායාමට පිටියට පිවිසෙන සිඩ්නි තන්ඩර් කණ්ඩායම වෙනුවෙන් චමරි අතපත්තු අගනා පිතිහරඹයක නිරත වන්නට විය. ඇය පන්දු 53කදී හතරේ පහර 10ක් හා හයේ පහර 3ක් සමගින් නොදැවී ලකුණු 77ක් රැස්කිරීමට සමත් විය. ඒ අනුව සිඩ්නි තන්ඩර් කණ්ඩායම පන්දුවාර 16 එක් පන්දුවකදී කඩුලු 9කින් තරගය ජයග්‍රහණය කිරීමට සමත් විය. එම ජයග්‍රහණයත් සමගින් සිඩ්නි තන්ඩර් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානය තෙක් ඉහළට පැමිණීමට සමත් විය. තරගයේ වීරයා ලෙසින් මෙවර ද චමරි අතපත්තු සම්මානයට පාත්‍ර විය.

Back To Top