රග්බි ලෝක කුසලාන තරගාවලියේ තවත් එක් තරගයක් අද අලුයම පැවැත්විණි. ජපාන කණ්ඩායම හා සැමෝවා කණ්ඩායම අතරයි. D කාණ්ඩයේ තරගයක් වූ මෙම තරගය කණ්ඩායම් දෙකටම අර්ධ අවසන් පූර්ව වටය කෙරේ බලාපොරොත්තු තබාගැනීමට වැදගත් තරගයක් බවට පත් විය.

තරගයේ පළමු අර්ධය තුළ දක්ෂ ලෙස ක්‍රීඩා කරමින් පාලනය සියතට ගන්නට ජපානයට හැකි වද්දී ලකුණු 17ට 8ක් ලෙසින් පෙරමුණ හිමිකරගැනීමට ඔවුන්ට හැකිවිය. පළමු අර්ධයේ 13 වන මිනිත්තුවේදී ජපානය උත්සාහක දිනුමක් වාර්තා කරමින් ලකුණු පුවරුව ආරම්භ කරද්දී එහි ප්‍රවර්ථනය ද සාර්ථක කරගන්නට ඔවුන්ට හැකිවිය. සැමෝවා ක්‍රීඩකයන් 25 වන මිනිත්තුවේදී දඩුවම් පහරක් සාර්ථක කරගන්නට සමත් වද්දී 28 වන මිනිත්තුවේ දී ජපානය වෙනුවෙන් රිකියා මට්සුඩා දඩුවම් පහර සාර්ථක කරගන්නට සමත් විය. 32 වන මිනිත්තුවේ දී ජපානය තවත් උත්සාහක දිනුමක් හා ප්‍රවර්ථනයක් සාර්ථක කරකරගනිමින් ලකුණු පුවරුව ඉහළ නංවා ගනිද්දී පළමු අර්ධය අවසන් වන්නට ආසන්න මොහොතේදී සැමෝවා පිළ උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සමත් විය.

දෙවන අර්ධයේදී ද පළමු උත්සාහක දිනුම සම්පූර්ණ කරන්නට ජපානයට හැකි වද්දී තවත් දඩුවම් පහර 2ක් සාර්ථක කරගන්නට ඔවුන් සමත් වූයේ ලකුණු පුවරුව 28ක් දක්වා ඉහළ නංවාගනිමිනි. ප්‍රතිවාදී සැමෝවා කණ්ඩායම දෙවන අර්ධය තුළ දක්ෂ අන්දමින් ක්‍රීඩා කරනු දක්නට ලැබිණි. තරගයේ 65 වන මිනිත්තුවේදී හා තරගය නිමාවට ආසන්න මොහොතේ දී උත්සාහක දිනුම් 2ක් හා එහි ප්‍රවර්ථන 2 සාර්ථක කරගන්නට ඔවුන්ට හැකිවිය. ඒ අනුව සමස්ත කාලය අවසානයේ ලකුණු 28ට 22ක් ලෙසින් ජයග්‍රහණය කිරීමට ජපානයට හැකිවිය. මෙම ජයග්‍රහණයත් සමගින් ජපාන කණ්ඩායම D කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහන අනුව දෙවැනි තැන තෙක් ඉදිරියට ඒමට සමත් විය.