ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ කාන්තා එක්දින තරගාවලියේ තවත් තරග 6ක් ඊයේ දිනයේ දී පැවැත්විණි. ඒ අතුරින් පැවති තරග 4ක්ම ඉතා අඩු ලකුණු පුවරු පෙන්නුම් කළ තරග බවට පත් වූයේ පිතිකාරිණියන්ගේ දුර්වල පිතිහරඹය හේතුවෙනි.

හලාවත මේරියන්ස් හා ඒස් කැපිටල්ස් කණ්ඩායම අතර තරගයේදී පළමුව පන්දුවට පහර දුන් ඒස් කැපිටල් ක්‍රීඩිකාවන් රැස්කළේ ලකුණු 54ක් පමණි.එහිදී කිසිදු ක්‍රීඩිකාවකට ලකුණු 10සීමාව ඉක්මවන්නට නොහැකි විය. හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජය වෙනුවෙන් සදුනි නිසංසලා පන්දුවාර 8 පන්දු 2කදී නිළකුණු පන්දුවාර 5ක් සමගින් ලකුණු 6කට කඩුලු 4ක් බිදහෙලීය. මල්ෂා මධුෂානි ලකුණු 7ට කඩුලු 3ක් ද කවීෂා දිල්හාරි කඩුලු 2ක්ද දවාගැනීමට සමත් විය. හලාවත මේරියන්ස් ක්‍රීඩිකාවන් එක් කඩුල්ලක් පමණක් දැවී පන්දුවාර 4 පන්දු 3ක් තුළදී ලකුණු 56ක් රැස්කරමින් තරගය ජයග්‍රහණය කිරීමට සමත් විය. එහිදී මල්ෂා මදුෂානි පන්දු 17කදී වේගවත් ලකුණු 35ක් රැස්කිරීමට සමත් විය.

කුරුණෑගල යූත් හා යුධ හමුදා ක්‍රීඩා සමාජ අතර තරගය ද අඩු ලකුණු තරගයක් බවට පත් විය. කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් කුරුණෑගල යූත් ක්‍රීඩිකාවන් පන්දුවාර 22කදී සියලු දෙනා දැවී රැස්කළේ ලකුණු 33ක් පමණි. එහිදී ද කිසිදු ක්‍රීඩිකාවක් ලකුණු 10සීමාව ඉක්ම නොවූ අතර පන්දුවෙන් දස්කම් පෑ රන්දි ප්‍රේමරත්න ලකුණු 10කට කඩුලු 4ක් ද සදනිද සිල්වා ලකුණු 2ට කඩුලු 3ක් ද දවාගැනීමට සමත් විය. යුධ හමුදා ක්‍රීඩිකාවන් කඩුලු 2 දැවී ලකුණු 34ක් රැස්කරමින් තරගය ජයග්‍රහණය කිරීමට සමත් විය.

CCC ක්‍රීඩා සමාජ කණ්ඩායම හා NCC ක්‍රීඩා සමාජ කණ්ඩායම අතර තරගය ඊයේ පැවැත්වුණේ කොළඹ NCC ක්‍රීඩාංගණයේදී ය. පළමුව පන්දුවට පහර දුන් CCC ක්‍රීඩිකාවන් පන්දුවාර 49 පන්දු 3කදී සියලු දෙනා දැවී ලකුණු 224ක් රැස්කිරීමට සමත් විය. එහිදී කෞෂිණී නුත්‍යාංගනා පන්දු 55කදී හතරේ පහර 7ක් සමගින් ලකුණු 62ක් රැස්කළ අතර සදලී වීරසිංහ සහ ඉමල්ෂි යසාරා ලකුණු 32 බැගින් රැස්කිරීමට සමත් විය. පන්දු යැවීමේදී විශ්මි, ශනිල්කා හා තුලක්ෂි කඩුලු 2 බැගින් බිදහෙලීය. ඉලක්කය හඹායාමට පිටියට පිවිසෙන NCC ඉනීම ලකුණු 76කට සීමා විය. පිතිකාරිණියන් දෙදෙනකු පමණක් ලකුණු 10සීමාව ඉක්මවද්දී පන්දුවෙන් දස්කම් පෑ විදුෂිකා පෙරේරා ලකුණු 15ට කඩුලු 4ක් හා හෂිණි ලියනගේ කඩුලු 2 දවාගත්හ. ඒ අනුව මෙම තරගයෙන් ලකුණු 148ක ජයක් CCC ක්‍රීඩිකාවන්ට හිමි විය.

බදුරලිය හා ගුවන් හමුදා ක්‍රීඩා සමාජ අතර පැවති තරගයද අඩු ලකුණු තරගයක් බවට පත් විය. පළමුව පන්දුවට පහර දුන් බදුරලිය ඉනීම් ලකුණු 44කට සීමා විය. එහිදී ගුවන් හමුදාව වෙනුවෙන් පන්දුවෙන් දස්කම් පෑ තාරුකා ශෙහානි ලකුණු 3කට කඩුලු 5ක් ද ඉනෝෂි හා අමා කඩුලු 2 බැගින්ද දවගත්හ.ගුවන් හමුදා ක්‍රීඩිකාවන් කඩුලු 3ක් දැවී ලකුණු 45ක් රැස්කරමින් තරගය ජයග්‍රහණය කිරීමට සමත් විය.

පානදුර ක්‍රීඩා සමාජය හා ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය අතර තරගය වර්ෂාව හේතුවෙන් පන්දුවාර 33කට සීමා විය. පළමුව පන්දුවට පහර දුන් ටැමිල් යූනියන් ක්‍රීඩිකාවන් කඩුලු 9ක් දැවී ලකුණු 124ක් රැස්කළහ.එහිදී සවින්දි කුරේ ප්‍රතිවාදී ටැමිල් යූනියන් ක්‍රීඩිකාවන් තිදෙනෙක් දවාගැනීමට සමත් විය.ඉලක්කය හඹායාමට පිටියට පිවිසෙන පානදුර කණ්ඩායම පන්දුවාර 22කදී කඩුලු 5ක් දැවී ලකුණු 93ක් රැස් කොට සිටියදී යළිත් වර්ෂාව හරස් විය. ඒ අනුව තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 12ක ජයක් පානදුර ක්‍රීඩිකාවන්ට හිමිවිය. පානදුර ක්‍රීඩා සමාජය වෙනුවෙන් නවෝද්‍යා නෙත්මිනී ලකුණු 29ක් රැස්කිරීමට සමත් විය.

ඊයේ දිනයේ දී කෝල්ට්ස් ක්‍රීඩා සමාජය හා ගාල්ල ක්‍රීඩා සමාජය අතර තරගය ද පැවැත්විණි. පළමුව පන්දුවට පහර දුන් කෝල්ට්ස් ඉනීම ලකුණු 78කට සීමා විය.එහිදී හසාරා විජේරත්න නොදැවී ලකුණු 22ක් රැස්කළ අතර පන්දු යැවීමේදී රශ්මි, විහාරා සහ හිරුණිකා කඩුලු 2 බැගින් දවාගැනීමට සමත් විය.වර්ෂාව හේතුවෙන් පන්දුවාර 20කට සීමා වූ මෙම තරගයේදී ගාල්ල ක්‍රීඩා සමාජය කඩුලු 9ක් දැවී රැස්කිරීමට සමත් වූයේ ලකුණු 76ක් පමණි. ඒ අනුව ලකුණු 2ක තියුණු ජයක් කෝල්ට්ස් ක්‍රීඩා සමාජය සතුවිය. කෝල්ට්ස් පිළ වෙනුවෙන් ජනකාන්තිමාලා ලකුණු 6ට කඩුලු 3ක් ද නෙත්මි සන්ජනා කඩුලු 2 ද දවාගැනීමට සමත් විය.