සිව්වන වරටත් රග්බි ලෝක ශූරයන් ලෙසින් කිරුලු දරන්නට දකුණු අප්‍රිකාව අද දිනයේදී සමත් වුණා. ඒ නවසීලන්තයට එරෙහිව පැවති අවසන් මහා තරගයෙන් එක් ලකුණක තියුණු ජයග්‍රහණයක් හිමිකරගනිමිනි. ඒ අනුව පිට පිට දෙවන වරටත් දකුණු අප්‍රිකාව රග්බි ලෝක ශූරයන් ලෙස අභිෂේක ලබන්නට සමත් වූ අතර ඔවුන් මින් පෙර 2007, 1995 වසරවලදී ද රග්බි ලෝක ශූරතාවය සිය මවුබිමට රැගෙන යාමට සමත් විය.

පුරා මාස එකහමාරකට අධික කාලයක් පුරාවට පැවති මෙවර රග්බි ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය මෙරට වේලාවෙන් අද අලුයම පැවැත්වූයේ ප්‍රංශයේ දෙ ෆ්‍රාන්ස් ක්‍රීඩාංගණය කේන්ද්‍ර කරගනිමිනි. මෙම තරගයේ 27 වැනි මිනිත්තුවේදී නවසීලන්ත නායක සෑම් කේන්ට රතු කාඩ්පතක් හිමි වද්දී ක්‍රීඩකයන් 14 දෙනෙකුගෙන් ක්‍රීඩා කරන්නට ඔවුන්ට සිදුවිය.

පළමු අර්ධය තුළදී ලද අවස්ථාවන්ගෙන් උපරිම ඵල නෙලාගත් ස්ප්‍රින්ග්බොක්ස් ක්‍රීඩකයන් දඩුවම් පහර 4ක් සාර්ථක කරගනිමින් එම අර්ධයේ පෙරමුණ හිමිකරගැනීමට සමත් විය. එම දඩුවම් පහර හතරම සාර්ථක කරගනු ලැබූයේ හැන්ඩ්‍රෙ පොලාඩ් විසිනි. නමුත් පළමු අර්ධය තුළදී ප්‍රතිවාදී ඕල්බ්ලැක්ස් ක්‍රීඩකයන්ට දඩුවම් පහර 2ක් පමණක් සාර්ථක කරගන්නට හැකිවූ අතර එම පහර දෙකම රිචී මොන්ගා විසින් රැස්කළේය. ඒ අනුව පළමු අර්ධය ලකුණු 12ට 6ක් ලෙසින් පෙරමුණ හිමිකරගත්තේ දකුණු අප්‍රිකානු කණ්ඩායමයි.

නමුත් දෙවන අර්ධය තුළදී නවසීලන්ත ක්‍රීඩකයන් තරගයට අවතීර්ණ වෙමින් තරගයේ පාලනය සියතට ගන්නට වෑයම් කළහ. එහි ප්‍රතිඵලයක් ලෙස ආරොන් ස්මිත් උත්සාහක දිනුමක් වාර්තා කළද එය විනිසුරු තීරණය අනුව නිෂ්ඵල දිනුමක් බවට පත් විය. නමුත් 58 වැනි මිනිත්තුවේදී බියුඩන් බැරට් විසින් උත්සාහක දිනුමක් සාර්ථක කරගත්තේ තරගය තව තවත් උණුසුම් කරමිනි. නමුත් එහි ප්‍රවර්ථනය හා හිමි වූ දඩුවම් පහර කිහිපයක් සාර්ථක කරගන්නට නවසීලන්ත ක්‍රීඩකයන් අපොහොසත් විය. එහි අවසන් ප්‍රතිඵළය බවට පත් වූයේ ලකුණු 12ට 11ක් ලෙසින් එක් ලකුණක තියුණු ජයක් සමගින් සිව්වන වරටත් රග්බි ලෝක කුසලානයේ පහස දකුණු අප්‍රිකානු ක්‍රීඩකයන්ට උරුම වීමයි.