රග්බි ලෝක කුසලාන තරගාවලියේ තවත් අතිශය තියුණු තරගයක් අද අලුයම පැවැත්විණි. බොහෝ ප්‍රේක්ෂක අවධානය යොමු වූ මෙම තරගය වෙනුවෙන් අයර්ලන්තය සමගින් තරග වැදුනේ ප්‍රබල දකුණු අප්‍රිකානු කණ්ඩායමයි.

මෙම තරගය ආරම්භක නිමේෂයේ පටන් අතිශය උණුසුම් මුහුණුවරක් ගන්නට විය. තරගයේ පළමුව ලකුණු රැස්කිරීම ආරම්භ කළේ දකුණු අප්‍රිකානු කණ්ඩායමයි. තරගයේ හයවැනි මිනිත්තුවේ දී දඩුවම් පහරක් සාර්ථක කරගනිමින් මනී ලිබෝක් දකුණු අප්‍රිකානු ලකුණු පුවරුව ක්‍රියාත්මක කරන්නට විය. ඉන් පසු මිනිත්තු 27කට ආසන්න කාල සීමාවක් තුළ කිසිවෙක් ලකුණු රැස්කිරීමට අපොහොසත් විය.

33 වැනි මිනිත්තුවේ දී ක්‍රියාත්මක වූ අයර්ලන්ත ක්‍රීඩක මැක් හන්සෙන් උත්සාහක දිනුමක් සාර්ථක කරගනිමින් අයර්ලන්ත ලකුණු පුවරුව ආරම්භ කළේය. එහි ප්‍රවර්ථනය සාර්ථක කරගනිමින් පළමු අර්ධය ලකුණු 7ට 3ක් ලෙසින් නිමා කරන්නට අයර්ලන්තය සමත් විය. දෙවන අර්ධය ආරම්භ වී මිනිත්තු 11කට පසුව දකුණු අප්‍රිකාව වෙනුවෙන් පළමු උත්සාහක දිනුම වාර්තා කිරීමට චෙස්ලින් කොල්බේට හැකිවිය. නනමුත් එහි ප්‍රවර්ථනය සාර්ථක කරගන්නට ඔවුන්ට නොහැකි විය.

ලද අවස්ථාවන් කිහිපයක් දකුණු අප්‍රිකානුවන්ගෙන් ගිලිහී යද්දී ඊට කදිම පිළිතුරු සපයමින් ලද දඩුවම් පහර 2ක් සාර්ථක කරගන්නට 59 වැනි මිනිත්තුවේදී ජොනී සෙක්ස්ටොන් හා 77 වැනි මිනිත්තුවේදී ජැක් ක්‍රවුලිට හැකිවිය. නමුත් දකුණු අප්‍රිකානු ක්‍රීඩකයන්ට වෙනත් කිසිදු ලකුණක් රැස්කිරීමට අවකාශය හිමි නොවීය. ඒ අනුව අතිශය තියුණු තරගයකින් අනතුරුව ලකුණු 13ට 8ක් ලෙසින් ජයග්‍රහණය හිමිකරගැනීමට අයර්ලන්තයට හැකිවිය. ක්‍රීඩා කළ තරග 3ම ජයගත් අයර්ලන්තය B කාණ්ඩයේ ප්‍රමුඛයා බවට පත් වී සිටියි.