දාහත් වසරක ආසියානු මළල ක්‍රීඩා පදක්කම් ඉඩෝරයට තිත තබන්නට ලාංකිකයන් තිදෙනෙක් අද තරග බිමේ

ආසියානු ක්‍රීඩා තරගාවලියේ මළල ක්‍රීඩා තරග ඉසව්වේ තීරණාත්මක තරග 2ක් අද පස්වරුවේ පැවැත්වෙයි. මීටර් 400 ඉසව්වේ පිරිමි හා කාන්තා අවසන් මහා තරගය අද මෙරට වේලාවෙන් පස්වරු 5.30 සිට පැවැත්වෙන අතර පිරිමි ඉසව්ව වෙනුවෙන් කාලිංග කුමාර හා අරුණ දර්ශන සහභාගි වන අතර කාන්තා ඉසව්ව වෙනුවෙන් නදීෂා රාමනායක තරග බිමට අවතීර්ණ වීමට නියමිතයි.

ආසියානු ක්‍රීඩා ඉතිහාසය දෙස අවදානය යොමු කරණ විට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් අවසන් වරට මළල ක්‍රීඩා ඉසව්වකින් ආසියානු පදක්කමක් ජයග්‍රහණය කොට ඇත්තේ මීට වසර 17කට ඉහතදීය. ඒ වසර 2006 දෝහා හිදී පැවති ආසියානු ක්‍රීඩා තරගාවලිය තුලයි. එම තරගාවලියේ මීටර් 100 හා 200 තරග ඉසව්වලදී පිළිවෙලින් රිදී හා ලෝකඩ පදක්කම් දිනාදෙන්නට සුසන්තිකා ජයසිංහ සමත් විය. එමෙන්ම එවර පිරිමි මීටර් 400 සහය කණ්ඩායම නියෝජනය කළ රොහාන් ප්‍රදීප් කුමාර, ප්‍රසන්න අමරසේකර, රෝහිත පුෂ්පකුමාර හා අශෝක ජයසුන්දර ලක්මාතාවට තවත් ලෝකඩ පදක්කමක් දිනා දෙන්නට සමත් විය.

එතැන් පටන් ශ්‍රී ලංකාවට ආසියානු ක්‍රීඩා තරගාවලිය තුළ මළල ක්‍රීඩා ඉසව්වේ පදක්කමක් උරුම නොවීය. අද දිනයේදී මීටර් 400 ඉසව්ව වෙනුවෙන් එක්වන කාලිංග කුමාර ඊයේ දිනයේදී සමස්ත කාලගණනය අනුව තෙවැනි තැන හිමි වූ අතර කාන්තා ඉසව්ව වෙනුවෙන් එක්වන නදීෂා රාමනායක ද සමස්ත කාලගණනය අනුව තෙවැන්නිය බවට පත් විය. ඔවුන් අද පස්වරු 5.30ට හා 5.40ට මෙරට වේලාවෙන් තරග බිමට අවතීර්ණ වීමට සූදානමින් පසුවෙයි.