ශ්‍රී ලංකාව නියෝජනය කළ විශිෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයන් රැසක් පසුගියදා අරලිය ගහ මන්දිරයේදී අග්‍රාමාත්‍යවරයා හමු විය. ඒ හෝමාගම ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ඉදිකිරීම සම්බන්ධයෙන් රට තුළ ඇති වූ ව්‍යාකූල තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහාය. එම සාකච්ඡාවේදී අදහස් දක්වමින් හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන සිදු කළ ප්‍රකාශයක් ඉන් අනතුරුව රට පුරා දැඩි ආන්දෝනලය තුඩු දුන්නේය.

එහිදී මහේල ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් නඟා සිටුවීමට නම් කළ යුත්තේ නව ක්‍රීඩාංගණ ඉදි කිරීම නොව පාසල් ක්‍රිකට් ක්‍රීඩාන නඟා සිටුවීම බවය. එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගිය වසර කිහිපය පුරා පාසල් ක්‍රිකට් ක්‍රීඩාව නඟා සිටුවීමට කිසිවක් සිදු නොකළ බවද මහේලගේ අදහස විය. මහේල වැනි රටම ආදරය කළ ක්‍රීඩකයකු එවැනි ප්‍රකාශයක් සිදු කළ විට සියළු දෙනාගේම අවධානය ඒ වෙත යොමු වීම නිතැතින්ම සිදු වන්නකි. නමුත් මහේල ප්‍රකාශ කළ සියල්ල සර්ව සාධාරණ දැයි යන්න විමසා බැලීමද ජනතාවගේ පාර්ශ්වය නියෝජනය කරන අපේ වගකීමකි.

රටක ඕනෑම ක්‍රීඩාවක් නඟා සිටුවීමට නම් එය රට පුරා ව්‍යාප්ත කිරීම අනිවාර්යයෙන්ම සිදු කළ යුතුය. ඒ බව කිසිවකුට අමුතුවෙන් පැහැදිලි කර දිය යුතු නැත. ඒ පිළිබඳව අවධානය යොමු කිරීමේදී අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවේදී මහේල පැවසූ තවත් කාරණයක් පිළිබඳව අපට විමසා බැලිය හැක. එහිදී මහේල සඳහන් කර සිටියේ පසුගිය වසර කිහිපය පුරාම ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයන් බොහොමයක් පිට පළාත්වලින් පැමිණි ක්‍රීඩකයන් බවය. පිට පළාත් පාසල් ක්‍රිකට් ක්‍රීඩාව දියුණු නොකළේ නම් එම ප්‍රදේශ තුළින් ජාතික කණ්ඩායමට ක්‍රීඩකයන් පැමිණියේ කෙසේදැයි යන්න නැඟෙන ගැටළුව මෙය කියවන ඔබේ හිතටද නැඟෙනවා නොඅනුමානය.

2011 වසරේ ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාව සම සත්කාරකත්වය දැරූ අතර 2012 වසරේ වි/20 ලෝක කුසලාන තරගාවලියේදී සත්කාරකත්වය දැරීය. ඒ සඳහා ක්‍රිකට් ක්‍රීඩාංගණ දෙකක් අළුතින් ඉදි කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කළ අතර එම ක්‍රීඩාංගණ දෙකම ඉදි කරනු ලැබුවේ කොළඹින් බොහෝ දුර බැහැය. ඒ හම්බන්තොට සූරියවැව සහ මහනුවර පල්ලෙකැලේය. ඒ හරහා එම ප්‍රදේශවල පාසල් ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුවට සිදුවූ මෙහෙය අති විශාලය.

ඒ ඕනෑම කෙනකුට පිටතින් පෙනෙන කාරණාවන්ය. නමුත් පාසල් ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුව සඳහා පසුගිය වසර කිහිපය පුරා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගත් ක්‍රියා මාර්ග බොහෝය. පසුගිය වසර කිහිපය පුරාම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ආදායමෙන් 15%ක් වැය කර ඇත්තේ පාසල් ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙනි.
මෙහිදී මෑත කාලීනව ගත් ක්‍රියාමාර්ග මෙරට ජාතික පුවත්පත් වල පළ කළ අයුරු මෙරට පුවත්පත් කියවන්නන්ට මෙන්ම ක්‍රිකට් පිළිබඳව උනන්දුව දක්වන්නන්ට අමුත්තක් නොවේ. එහිදී ප්‍රධාන වශයෙන්ම අන්තර් පාසල් වයස අවුරුදු 19 න් පහළ ක්‍රිකට් තරගාවලිය නියෝජනය කරනු ලබන ක්‍රීඩකයින්ට සමස්ථ තරගාවලියටම ප්‍රමාණවත් වන පරිදි ක්‍රිකට් පන්දු 8000 ක් බෙදා දීම, මෙරට ප්‍රමුඛ පෙළ පාසල් ක්‍රිකට් තරගාවලිය නියෝජනය කරනු ලබන පාසල් 32 කට එක් යන්ත්‍රයකට ලක්ෂ 8 කට ආසන්න මුදලක් වැය කරමින් වූ ටර්ෆ් කටර් යන්ත්‍ර බෙදා දුන් අයුරු මහේලට අමතක වීම කණගාටුවට කරුණකි. මහේල ක්‍රිකට් අකුරු කරවූ පාසල වන නාලන්දා විදුහලටද එම ක්‍රීඩා උපකරණ බෙදා දුන් නමුත් ඒ පිළිබඳව පාසලෙන් හෝ මහේලෙව දැනුවත් නොකිරීමට කටයුතු කිරීම තරමක විශ්මය දනවන ක්‍රියාවක් ලෙසින් සඳහන් කළ හැක.

දිස්ත්‍රික්, පළාත් සහ ජාතික පාසල් කණ්ඩායම් සංවර්ධනය කිරීම සඳහා පූර්ණකාලීන පුහුණුකරුවන් 35 දෙනකු යෙදවීමට ක්‍රිකට් ආයතනය කටයුතු කර ඇත. එය අධීක්ෂණය කිරීම සඳහා අනුර තෙන්නකෝන්, රෝයි ඩයස් සහ ශ්‍රීනාත් ප්‍රනාන්දු යන මහත්වරුන් වෙත පවරා ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලීම් කළ සියළුම පාසල් සඳහා රෝලර්, කවර්, මැටින්, හතරේ සීමා සලකුණු කරන ලණු මෙන්ම ලකුණු සටහන් කරුවන් සඳහා ගාස්තු ලබා දීමද ක්‍රිකට් ආයතනය විසින් සිදු කර ඇත. එමෙන්ම දිවයින පුරා පාසල් ක්‍රිකට් ක්‍රීඩාංගණවල තණතිලි සහ පැති තණතිලි නඩත්තු කිරීම සඳහා ඒ පිළිබඳ විශේෂඥයන්ගේ සහායද පාසල් වෙත ලබා දී ඇත.

මෙම කරුණු පිළිබඳව ඕනෑම කෙනකුට සොයා බැලිය හැක. පාසල් විදුහල්පතිවරුන්ගෙන් විමසා බැලිය හැක. මහේල ජයවර්ධන වැනි වගකිවයුතු පුද්ගලයකු තමන්ගේ හිතුමනාපයට අදහස් දක්වන්නේ ක්‍රිකට් ආයතනය සමඟ ඇති වෛරයකින්ද එසේත් නැති නම් හරි හැටි කරුණු කාරණා නොදැනදැයි යන්න අප නොදනිමු. නමුත් සත්‍ය වසන් කරමින් බොරුව මතු කිරීමට කිසිවකු උත්සාහ කරන්නේ නම් ජනතාව වෙනුවෙන් එය වැලැක්වීමට ඇති අපේ අයිතිය වෙනුවෙන් අපි කැපවෙමු.

කලිනුත් සඳහන් කළ පරිදි මහේලම ප්‍රකාශ කළ ආකාරයට පසුගිය වසර කිහිපය මුලුල්ලේ ජාතික කණ්ඩායමට ක්‍රීඩකයන් බොහොමයක් පැමිණ ඇත්තේ පිට පළාත් නියෝජනය කරමිනි. නමුත් එය සිදුවූයේ මැජික් එකක් හෝ අහම්බයකින් කියා කිසිවකු සිතන්නේ නම් එය වැරැදි අදහසකි.
අවුරුදු 15න් පහළ, 17න් පහළ සහ 19න් පහළ අන්තර් පළාත් තරගාවලි පවත්වමින් ඒ සඳහා ක්‍රීඩකයන්ට අවශ්‍ය අඩිතාලම සකස් කර දුන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසිනි. ශ්‍රී ලංකාව පුරා පළාත් ක්‍රිකට් සංවර්ධන මධ්‍යස්ථාන හතරක් (කොළඹ, ගාල්ල, දඹුල්ල, මහනුවර) බිහි කළ අතර ඒ හරහා ක්‍රීඩකයන්ට ලැබුණු සහයෝගය මිල කළ නොහැකි එකකි.

පළාත් තරගාවලි හරහා තෝරාගත් දක්ෂයන්ගෙන් සැදුම්ලත් අවුරුදු 15න් පහළ, 17න් පහළ සහ 19න් පහළ ජාතික සංචිත සඳහා ප්‍රවීණ පුහුණුකරුවන්ගේ සහාය ලබා දුන් අතර ශ්‍රී ලංකාවේදී මෙන්ම ඉන් පිටතදීත් ජාත්‍යන්තර තරගාවලි බොහොමයක් සඳහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව ලාබාද වියේදීම එම ක්‍රීඩකයන්ට හිමි විය.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ විශේෂ කාර්යසාධන මධ්‍යස්ථානයක් ඉදි කරනු ලැබුවේද විශේෂයෙන්ම පාසල් ක්‍රීඩකයන් වෙනුවෙනි. කොළඹ නගරයට ආසන්නව තවත් ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක අවශ්‍යතාව දැනී ඇත්තේද මේ වන විට ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ඉඩ කඩ ඒ සඳහා ප්‍රමාණවත් නොවන බැවිනි. ගමේ ක්‍රිකට් පමණක් දියුණු කර කොළඹ ක්‍රිකට් කඩා වැටීමට ඉඩ දිය යුතු යැයි කිසිවකු කල්පනා කරන්නේ නම් එයද කුහක හැඟීමකි.

මැක්ස් ක්‍රිකට් ඇකඩමිය සහ පයාගල සරේ ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉදි කරනු ලැබුවේ මුළුමනින්ම පාසල් ක්‍රිකට් ක්‍රීඩාව නඟා සිටුවීමේ අරමුණෙනි. ඊට අමතවර යාපනය දිස්ත්‍රික්කයේ ඉදි කළ මුල්ම ටර්ෆ් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම්ද මේ වන විට අවසන් වී ඇත.

මේ සියළු කරුණු සලකා බැලීමේදී පෙනී යන්නේ පසුගිය කාලය පුරා පාසල් ක්‍රිකට් ක්‍රීඩාව නඟා සිටු වීම වෙනුවෙන් කිසිවක් සිදු නොකළ බවට කිසිවකු පවසන්නේ නම් එය හිතලුවක් පමණක් බවය. මහේල එලෙස පැවසීමට එක් හේතුවක් වන්නේ ඔහුගේ ප්‍රමුඛත්වයෙන් ඉදිරිපත් කළ ක්‍රිකට් දියුණු සඳහා වූ යෝජනාවලිය ක්‍රියාත්මක නොවූ නිසාවෙන්දැයි අප නොදනිමු. නමුත් පසුගිය කාලයේ පාසල් ක්‍රිකට් ක්‍රීඩාව නඟා සිටුවීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රියාත්මක කර ඇති දිගු කාලීන සැලසුමෙන් එහා ගිය දෙයක් එම සැලැස්මේ සඳහන්ව ඇතැයි අප කිසිසේත්ම නොසිතමු.