ශ්‍රී ලංකා පාපන්දු සම්මේලන නිළවරණය අද දිනයේදී පැවැත්වීමට නියමිතයි. මෙම නිළවරණය පැවැත්වෙන තෙක් ශ්‍රී ලංකාව වෙත පනවා තිබූ FIFA තහනම ඉවත් කරන්නට පසුගිය අගෝස්තු මස 28 වනදා ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය තීරණය කළා.

මෙවර නිළවරණය වෙනුවෙන් පාර්ශ්වයන් දෙකක් නාමයෝජනා ලබා දී තිබූ නමුත් එක පාර්ශ්වයක නාමයෝජනා පමණක් පිළිගෙන තිබුණා. අදාළ ප්‍රතික්ෂේප වූ පාර්ශවය සිදු කළ අභියාචනාව එම අභියාචනා කමිටුව විසින් පරීක්ෂණයට භාජනය කර දක්ෂිත සුමතිපාල මහතාගේ නාම යෝජනාව භාර ගන්නා ලෙස පාපන්දු නිලවරණ කමිටුව වෙත ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ අත්සනින් යුතුව ලිපියක් යොමු කර තිබෙනවා.

ඒ අනුව අද දිනයේ දී පැවැත්වෙන පාපන්දු නිළවරණය වෙනුවෙන් හිටපු සභාපති ජස්වර් උමාර් සමගින් දක්ෂිත සුමතිපාල තරග වැදීමට නියමිතයි. මෙම නිළවරණය අද පස්වරු 3ට ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පැවැත්වෙනවා. මෙවර පාපන්දු නිළවරණය නිරීක්ෂණය සදහා ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ උසස් නිළධාරීන් තිදෙනෙක් සහ ආසියානු පාපන්දු සම්මේලනයේ එක් නිළධාරියෙක්ද ක්‍රීඩා අමාත්‍යාංශයේ එක් නිළධාරියෙක්ද එක්වීමට නියමිතයි.