පුහුණු තරගයෙන් ශ්‍රී ලංකාවට අවමන් සහගත පරාජයක්

[vc_row][vc_column][vc_column_text]

එක්දින ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූ පළමු පුහුණු තරගය අද දිනයේදී පැවැත්විණි. ඒ බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිවයි. ගුවහාටිහිදී පැවති තරගයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.

ඒ අනුව පිටියට පිවිසෙන ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු යුගලය සාර්ථක ආරම්භයක් ලබාගැනීමට සමත් විය. නමුත් කුසල් පෙරේරා පන්දු 24කදී හතරේ පහර 6ක් සමගින් ලකුණු 34ක් රැස්කොට සිටියදී ආබාධයට ලක් විය. අනතුරුව කුසල් මෙන්ඩිස් හා පැතුම් නිස්සංක එක්ව පුවරුව 104ක් තෙක් ඔසවා තබන්නට සමත් විය. ඉනීමේ පළමු කඩුල්ල ලෙස කුසල් මෙන්ඩිස් ලකුණු 22කට දැවී යද්දී ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක අර්ධ ශතකයක් රැස්කිරීමට සමත් විය.

ඔහු පන්දු 64කදී හතරේ පහර 8ක් හා හයේ පහරක් සමගින් ලකුණු 68ක් රැස්කිරීමට සමත් විය. සදීර ලකුණු 2කටත් චරිත් ලකුණු 18කටත් දැවී ගිය අතර නායක දසුන් ශානකගේ ඉනීම ලකුණු 3කට සීමා විය. ඉනීමේ දෙවන අර්ධ ශතකය වාර්තා කළ ධනංජය සිල්වා පන්දු 79කදී ලකුණු 55ක් රැස්කළ අතර සෙසු කිසිදු පිතිකරුවෙක් ලකුණු 20 සීමාව ඉක්ඉක්මවන්නට අපොහොසත් විය. ඒ අනුව පන්දුවාර 49 එක් පන්දුවකදී කඩුලු 9ක් දැවී ලකුණු 263ක් රැස්කිරීමට ශ්‍රී ලංකාව සමත් විය. බංග්ලාදේශය වෙනුවෙන් මෙහෙදි හසන් ලකුණු 36ට කඩුලු 3ක් දවාගැනීමට සමත් විය.

ඉලක්කය හඹායාමට පිටියට පිවිසෙන බංග්ලාදේශය ඉතා පහසුවෙන් තරගය ජයග්‍රහණය කළේ කඩුලු 3ක් පමණක් දැවී තිබියදීය. එහිදී ආරම්භක පිතිකරු ටන්සිඩ් හසන් පන්දු 84කදී හතරේ පහර 10ක් හා හයේ පහර 2ක් සමගින් ලකුණු 88ක් රැස්කළ අතර ලිටන් ඩාස් ලකුණු 61ක් හා නායක මෙහෙදි හසන් මිරාස් ලකුණු 67ක් රැස්කිරීමට සමත් විය. මුෂ්ෆිකර් රහීම් නොදැවී ලකුණු 35ක් රැස්කළේය. ඒ අනුව මෙම පුහුණු තරගය පහසුවෙන් කඩුලු 7කින් ජයග්‍රහණය කිරීමට බංග්ලාදේශය සමත් විය.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top