බංග්ලාදේශ පිල ශ්‍රී ලංකා පිල සමග අද සාජාහි හමුවෙති

[vc_row][vc_column][vc_column_text]

ශ්‍රී ලංකාව 2021 විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ සුදුසුකම් ලැබීමේ වටය අපරාජිතව සුපිරි ලෙසින් නිමා කරමින් අද දිනයේදී සුපිරි 12 වටයේ තම පළමු තරඟය ලෙසින් බංග්ලාදේශය සමගින් තරඟ වැදීමට නියමිත වනවා. මෙම තරඟය ශ්‍රී ලංකාව දෙසින් මෙන්ම බංග්ලාදේශය දෙසින්ද බැලූ විට අංශ ගණනාවක් සම්බන්ධයෙන් කතා බහ කළ හැකියි. මෙම විග්‍රහය ඒ සම්බන්ධයෙනුයි

ලෝක කුසලාන ඉතිහාසයේ හමුවීම්

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය විස්සයි විස්ස ලෝක කුසලානයකදී හමු වී ඇත්තේ එක් වරක් පමණයි. ඒ 2007 වසරේ පැවති මුල්ම විස්සයි විස්ස ලෝක කුසලානයේ සුපිරි අට වටයේ තරඟයක වනවා. එම තරඟයේ මුළින්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව ලකුණු 147ක් රැස් කළා. ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ජෙහාන් මුබාරක් නොදැවී ලකුණු 31ක් සහ මහේල ජයවර්ධන ලකුණු 30ක් රැස් කිරීමට සමත් වුණා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශය පන්දුවාර 15.5ක් තුළ රැස්කළේ ලකුණු 83ක් පමණයි. ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමේදී සනත් ජයසූරිය, චමින්ද වාස් සහ දිල්හාර ප්‍රනාන්දු කඩුලු දෙක බැගින් බිඳහෙලුවා. දෙපිල හමුවූ එකම තරඟය ශ්‍රී ලංකාව ලකුණු 64 කින් ජයග්‍රහණය කරද්දී තරඟයේ වීරයා වූයේ වේග පන්දු යවන ක්‍රීඩක දිල්හාර ප්‍රනාන්දුයි.

බංග්ලාදේශයේ තවමත් ඉතිරි ක්‍රීඩකයන්

2007 මංගල විස්සයි විස්ස ලෝක කුසලානයේ ශ්‍රී ලංකා තරඟය ක්‍රීඩා කළ ක්‍රීඩකයන් තිදෙනෙක් මෙවර තරඟයත් නියෝජනය කරනවා. ඒ නායක මහමදුල්ලා රියාද්, ශකීබ් අල් හසන් සහ මුශ්පිකර් රහීම් යන ක්‍රීඩකයනුයි. 2007 ශ්‍රී ලංකාව වෙනුවෙන් වේග පන්දු යැවූ චමින්ද වාස් අද දිනයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන පුහුණුකරු ලෙසින් කටයුතු කරනවා.

දෙපිළේම තීරණාත්මක සාධක

තරඟය ගත් විටදී කණ්ඩායම් දෙකේම තීරණාත්මකම සාධකය බවට පත් වන්නේ දඟ පන්දු යවන්නන් කිවහොත් නිවැරදි වනවා. ශ්‍රී ලංකාවේ ප්‍රධාන දඟ පන්දු යවන කාර්යභාරයක් ඉටු කළ මහීෂ් තීක්ෂණට පිට කොන්දේ ආබාධය නිසාවෙන් බොහෝ දුරට මෙම තරඟය මගහැරෙනු ඇති. එවිට ශ්‍රී ලංකා කණ්ඩායමේ අනෙක් ප්‍රධාන දඟ පන්දු යවන්නා යන ස්ථානය අකිල ධනංජය හට හිමි වනවා. මේ නිසාවෙන් අකිල හට අද තරඟය තුළ විශාල වගකීමක් පැවරෙනු ඇති බවට විශ්වාස කළ හැකි වනවා.

වනිඳු හසරංග සමගින් අතිරේකව දඟ පන්දු යවන්නෙක් ලෙසින් බොහෝ විට චරිත් අසලංක හට ක්‍රියා කිරීමට හැකි වනවා. එහි වාසිය ශ්‍රී ලංකාව හිමිකරගත යුතුයි. ඒ වගේම පිතිකරණ අංශයෙන් නැවත වතාවක් ශ්‍රී ලංකාවේ ඉදිරිපෙළ පිතිකරුවන් අසාර්ථක වීම ප්‍රශ්නයක් වීමට පුලුවන්. මේ නිසාවෙන් පිතිකරණ අංශයෙන් ඉදිරිපෙළ ක්‍රීඩකයෙක් අවශ්‍ය රිද්මයට පැමිණ ඉනිම කලමණාකරණය කරගැනීම කළ යුතුම තත්ත්වයක් වනවා.

බංග්ලාදේශය දෙස අවධානය යොමු කරද්දී තරඟාවලිය පුරාවටම තම රිද්මයට අවතීර්ණ වී සිටින ශකීබ් අල් හසන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම වැදගත්. ඔහු පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද බංග්ලාදේශ තීරණාත්මක සාධකය බවට පත්ව තිබෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාව සමග තරඟ වලදී සාර්ථක වන මුෂ්පිකර් රහීම් ගේ කඩුල්ලද ඉක්මනින් දවා ගැනීම අත්‍යාවශ්‍ය කාරණයක්. දඟ පන්දු යවන ක්‍රීඩක මහෙදි හසන් මෙන්ම අවධානය යොමුකළ යුතු වේග පන්දු යවන්නා වන්නේ මුස්ටෆිසුර් රහමන් වනවා. ඔහු මේ ආකාරයෙන් හැසිරෙන මන්දගාමී තණතීරු වල විශේෂ බංග්ලාදේශ අවියක් ලෙසින් හැඳින්වීම වරදක් නොවෙයි.

අත්දැකීම් අතින් බංග්ලාදේශය තරමක් ඉදිරියෙන් පසු වනවා. නමුත් පුහුණු තරඟයේදී ශ්‍රී ලංකාවට බංග්ලාදේශය පරාජය කිරීමට හැකියාව ලැබුණා. එම තරඟයේදී කඩුලු බිඳ වැටීමෙන් අනතුරුව ශ්‍රී ලංකාව මනාව තරඟය කළමනාකරණය කළා. ඒ වගේම පුහුණු තරඟ වලදී දැක්වූ සුපිරි දක්ෂතා නිසාවෙන්ම අද තරඟය බංග්ලාදේශයට වඩා එක් අඩියක් ඉදිරියෙන් සිටිමින් ශ්‍රී ලංකාව ක්‍රීඩා කරනවා යන්න පැවසීමට හැකි කාරණයක් වනවා.

සාජා පිටියේ හැසිරීම

අවසාන වශයෙන් තරඟයේ තීරණාත්මක සාධකය වන්නේ සාජා තණතීරුවේ හැසිරීමයි. මෙම තණතීරුව පසුගිය කාල සමයේ අතිශය මන්දගාමී ස්වරූපයක් ගෙන තිබුණා. විශේෂයෙන්ම IPL තරඟාවලියේදී මෙන්ම සුදුසුකම් ලැබීමේ තරඟ වලදීත් එය දක්නට ලැබෙන කාණයක් බවට පත්වූවා. නෙදර්ලන්තය ලකුණු 44 කට දවා ගනිමින් ශ්‍රී ලංකාව හට සුවිශේෂී දස්කමක් දැක්වීමටද පසුගිය තරඟයේදී හැකි වූ නිසාවෙන්ම ශ්‍රී ලංකාව මෙම තරඟයටත් එම ආත්ම විශ්වාසය එලෙසම රැගෙන එන බව විශ්වාස කළ හැකියි.

ඊයේ නිමාව දුටු තරඟ ද්විත්වයම අඩු ලකුණු ලැබූ තරඟ බවට පත් වූවා. දකුණු අප්‍රිකා ඕස්ට්‍රේලියා තරඟය ලකුණු 119ක් වෙනුවෙන් අවසන් පන්දුවාරය තෙක් ගමන් කරද්දී කොදෙව්වන් ලකුණු 55 කට දැවී ගියා. ලකුණු 56 ඉලක්කය හඹා යෑමට එංගලන්ත කඩුලු 4ක් බිඳ වැටීමද තණතීරු වල ස්භාවය පෙන්නුම් කෙරෙනවා. මේ නිසාවෙන්ම ශ්‍රී ලංකා පිතිකරුවන් ප්‍රවේශමෙන් පන්දුවට පහර දිය යුතුයි. ඒ වගේම පන්දු යවන්නන් පෙර තරඟ වලදී මෙන්ම තම උපරිමය මෙම තරඟයේදීත් ලබාදිය යුතු වනවා. කාසියේ වාසිය ජයග්‍රහණය කරන කණ්ඩායම පළමුවෙන්ම පන්දු යැවීමට තීරණය කරයි යන්න අනුමාන කළ හැකියි. අද දිනයේදී වසර 14 කට පසුව බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව විස්සයි විස්ස ලෝක කුසලානයකදී එකිනෙකා මුණ ගැසෙනවා ඇති.

[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top