බ්‍රසීල හිටපු පාපන්දු ක්‍රීඩක මාරියෝ සගාලෝ පසුගිය සිකුරාදා දිනයේදී අභාවප්‍රාප්ත වී ඇත. මිය යන විට 92 හැවිරිදි වියේ පසු වූ පාපන්දු ශූරයා සිව්වරක් බ්‍රසීලයට පාපන්දු ලෝක කුසලානය දිනා දෙන්නට සිය දායකත්වය සැපයීය.

සගාලෝ දෙවරක් ක්‍රීඩකයෙකු ලෙසින් බ්‍රසීලයට පාපන්දු ලෝක කුසලානය දිනා දෙන්නට දායක විය. අනෙක් අවස්ථාවන් දෙකේදී ප්‍රධාන පුහුණුකරු ලෙසින් හා සහය පුහුණුකරුවෙකු ලෙසින් ලෝක කුසලානය දිනා දෙන්නට සිය දායකත්වය සැපයීමට සගාලෝට හැකිවිය.

ක්‍රීඩකයෙකු සහ පුහුණුකරුවකු ලෙස ලෝක කුසලානයක් ජයග්‍රහණය කළ පළමු පුද්ගලයා බවට පත් වන්නට 1970දී ඔහුට හැකිවිය. මාරියෝ සගාලෝ, පරම්පරා ගණනාවක් තිස්සේ බ්‍රසීල පාපන්දු ලෝලීන් අතර ගෞරවයට පාත්‍ර වී ඇති ශ්‍රේෂ්ඨ චරිතයකි.

බ්‍රසීල පාපන්දු සම්මේලනයේ සභාපති එඩ්නල්ඩෝ රොඩ්‍රිගුස් සෙනසුරාදා උදෑසන ප්‍රකාශයක් කරමින් කියා සිටියේ මොහු පාපන්දු ක්‍රීඩාවේ “දැවැන්තම පුරාවෘත්තයන්ගෙන් එක් අයෙක්” බවයි.