වයස අවුරුදු 19න් පහළ අන්තර් පාසල් එක්දින තරගාවලියේ A කොටසේ අවසන් මහා තරගය ඊයේ දිනයේ නිමාවට පත් වූයේ මහනුවර ත්‍රිත්ව විද්‍යාලයට ශූරතාවය හිමිකරදෙමිනි. තරගාවලියේ අවසන් මහා තරගය වෙනුවෙන් කොළඹ ශාන්ත ජෝසප් විද්‍යාලය හා පසුගිය වර ශූරයන් වූ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය ඊයේ දිනයේ තරග බිමට අවතීර්ණ වූයේ කොළඹ තර්ස්ටන් විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී ය.

තරගයේ කාසිය වාසිය දිනූ ත්‍රිත්ව විද්‍යාලයීය නායකයා පළමුව පන්දු රැකීම තෝරාගත්තේය. ඒ අනුව පිටියට පිවිසෙන සාන්ත ජෝසප් විද්‍යාලයීය පිතිකරුවන්ට සාර්ථක වන්නට ත්‍රිත්ව විද්‍යාලයීය පන්දු යවන්නන් ඉඩ නොතැබීය. සාන්ත ජෝසප් කණ්ඩායමේ සියලු ක්‍රීඩකයන් ලකුණු 135ක් තුළදී දවාගැනීමට තරණ විමලධර්ම ඇතුලු ත්‍රිත්ව පන්දු යවන්නන් වගබලාගත්හ. සාන්ත ජෝසප් ඉනීමේ වැඩිම ලකුණු ලාභීන් බවට පත් වූ මානස මධුභාෂණ පන්දු 84කදී හතරේ පහරක් හා හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 37ක් රැස්කළ අතර ඔහුට අගනා සහයක් ලබා දුන් ලහිරු අමරසේකර ලකුණු 21ක් රැස්කිරීමට සමත් විය. ත්‍රිත්ව විද්‍යාලය වෙනුවෙන් පන්දුවෙන් දස්කම් පෑ තරණ විමලධර්ම ලකුණු 22කට කඩුලු 3ක් ද මලිත් රත්නායක හා දිනුක තෙන්නකෝන් කඩුලු 2 බැගින්ද දවාගැනීමට සමත් වූහ.

ඉලක්කය පහසු වුවද එය හඹා යාම ත්‍රිත්ව විද්‍යාලයට ද සිතූ තරම් පහසු නොවීය. අංක තුන පිතිකරු ලෙසින් පිටියට පිවිසි සුපුන් වඩුගේ ක්‍රීඩකයාගේ පිත්ත ක්‍රියාත්මක නොවන්නට මෙවර ශූරතාවය සාන්ත ජෝසප් ක්‍රීඩකයන්ට හිමිවීමට වැඩි ඉඩක් තිබුණි. සුපුන් වඩුගේ ත්‍රිත්ව විද්‍යාලය වෙනුවෙන් ජයග්‍රාහී ඉනීමක් ක්‍රීඩා කරමින් පන්දු 84ක් තුළ හතරේ පහර 6ක් හා එක් හයේ පහරක් සමගින් අගනා ලකුණු 60ක් රැස්කිරීමට සමත් විය. ජයවි ලියනගම නොදැවී ලකුණු 16ක් ද මනුල හා වතිල ලකුණු 14 බැගින්ද රැස්කරමින් ජයග්‍රහණය වෙනුවෙන් දායක විය. ඒ අනුව පන්දුවාර 39 පන්දු 3ක් අවසානයේ කඩුලු 8ක් දැවී තිබියදී තරගය ජයග්‍රහණය කිරීමට මහනුවර ත්‍රිත්ව විද්‍යාලයීය කණ්ඩායම සමත් විය. සාන්ත ජෝසප් විද්‍යාලය වෙනුවෙන් යෙනුල දෙව්තුස ලකුණු 32කට කඩුලු 3ක් ද නුෂාන් පෙරේරා ලකුණු 25කට කඩුලු 2 ද දවාගනිමින් තරගය ජයග්‍රහණය කිරීමට දැඩි උත්සයක නිරත විය. ඒ අනුව මෙම තරගයෙන් කඩුලු 2ක තියුණු ජයක් හිමිකරගත් ත්‍රිත්ව විද්‍යාලය පිට පිට දෙවන වරටත් අන්තර් පාසල් සීමිත පන්දුවාර කිරුල සෙංකඩගල පුරවරයට රැගෙන යාමට සමත් විය.

Stats & Photo Source – ThePapare