ආජන්ටිනා සුපිරි පාපන්දු ක්‍රීඩක ලියොනල් මෙසී අටවැනි වරටත් Ballon D’or (බැලොන් ඩෝර්) සම්මානය දිනාගැනීමට සමත් වී ඇත. ඒ මැන්චෙස්ටර් සිටි පාපන්දු තරුව අර්ලින් හාලන්ඩ් අභිභවා යමින්. ඒ අනුව Inter Miami පාපන්දු ක්‍රීඩක ලියොනල් මෙසී මෙම සම්මානයට පාත්‍ර වූ අතර පසුගිය වසරේ කටාර්හිදී පැවති ලෝක කුසලාන තරගාවලියේ ශූරතාවය ආජන්ටිනාව දිනාගත්තේ මෙසීගේ නායකත්වය යටතේය.

එමෙන්ම MSL තරගාවලියේ කණ්ඩායමකට සම්බන්ධය ක්‍රීඩකයෙකු බැලොන් ඩෝර් සම්මානය දිනාගත් පළමු අවස්ථාව බවටද මෙය පත්වනු ඇත. හිටපු මැන්චෙස්ටර් යුනයිටඩ් ක්‍රීඩකයෙකු සහ ඉන්ටර් මියාමි සම හිමිකරු ඩේවිඩ් බෙකම් විසින් පැරිසියේදී පැවති උත්සවයකදී මෙම සම්මානය මෙසීට පිරිනැමීය. පාපන්දු ඉතිහාසය තුළ වැඩිම අවස්ථාවන් ගණනකදී බැලොන් ඩෝර් සම්මානය දිනා ඇත්තේද ලියොනල් මෙසීය.

වයස අවුරුදු 21 න් පහළ ලොව හොඳම ක්‍රීඩකයාට පිරිනැමෙන කෝපා කුසලානය එංගලන්ත කණ්ඩායමේ සහ රියල් මැඩ්රිඩ් කණ්ඩායමේ මැදපෙළ නියෝජනය කරන ජූඩ් බෙලිංහැම් විසින් දිනා ගන්නා ලදී.

” මගේ අවසන් සඳහන ඩියාගෝ මැරඩෝනා ගැනයි, අද ඔහුගේ උපන් දිනයයි. ඒ නිසා මම මෙතැන් සිට ඔහුව සිහිපත් කිරීමට කැමතියි, ඔබ කොහේ සිටියත්, ඩිගෝ, සුභ උපන්දිනයක්. මෙය ඔබටයි”