රග්බි ලෝක කුසලාන තරගාවලියේ තවත් තරග 2 අද දිනයේදී පැවැත්වුණා. ප්‍රභල දකුණු අප්‍රිකාව රුමේනියාවට එරෙහිව තරග වැදුනේ දිනයේ පළමු තරගය ලෙසයි. මෙම තරගයෙන් ලකුණු 76ට 0ක් ලෙසින් අතිවිශිෂ්ට ජයක් ලබාගන්නට දකුණු අප්‍රිකානු රග්බි කණ්ඩායම සමත් වුණා.

මෙම තරගය ආරම්භක නිමේෂයේ පටන් පාලනය සියතට ගත් දකුණු අප්‍රිකානු ක්‍රීඩකයන් පළමු අර්ධය තුළ ලකුණු 33ට 0ක් ලෙසින් පෙරමුණ හිමිකරගැනීමට සමත් වුණා. එහිදී සුවිශේෂී දක්ෂතා ප්‍රදර්ශනය කළ Springbok ක්‍රීඩක Cobus Reinach පළමු මිනිත්තු 25 තුළදී උත්සාහක දිනුම් ත්‍රිත්වයක් සම්පූර්ණ කළා. ඒ අනුව ඔහු වාර්තා පොත් අතරට එක් වුණේ රග්බි ලෝක කුසලාන ඉතිහාසයේ Hattrick දිනුමක් වාර්තා කළ ලොව දෙවන වේගවත්ම කාලය වාර්තා කරමින්. එම ලෝක වාර්තාවද ඔහු සතු වන අතර එය පිහිටවූයේ පසුගිය ලෝක කුසලාන තරගාවලිය තුලයි.

දෙවන අර්ධය තුළදී ද ප්‍රතිවාදීන්ට කිසිදු ලකුණක් රැස්කිරීමට ඉඩ ලබා නොදුන් දකුණු අප්‍රිකාව තවත් ලකුණු 43ක් රැස්කිරීමට සමත් වුණා. ඒ අනුව ඔවුන් තරගය ජයගත්තේ ලකුණු 76ට 0ක් ලෙසින්. දකුණු අප්‍රිකාව වෙනුවෙන් තවත් උත්සාහක දිනුම් ත්‍රිත්වයක් වාර්තා කිරීමට Makazole Mapimbi සමත් වුණා. දකුණු අප්‍රිකාව සමස්ථ තරගය පුරාවට උත්සාහක දිනුම් 11ක් එහි ප්‍රවර්ථන 7ක් හා දඩුවම් පහරක් සම්පූර්ණ කළා.