2026 පාපන්දු ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ දකුණු ඇමරිකානු කලාපයේ තරග මේ දිනවලදී ක්‍රියාත්මකයි. එම තරගාවලියේ ඊයේ දිනයේ දී පැවති තරග 2කින් ජයග්‍රහණය වාර්තා කිරීමට උරුගුවේ කණ්ඩායම හා කොලොම්බියා කණ්ඩායම් සමත් විය. ඒ වත්මන් ලෝක ශූරයන් වන ආජන්ටිනාව හා බ්‍රසීලය පරාජයට පත් කරමින්.

ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගයෙන් බ්‍රසීලයට එරෙහිව ගෝල 2-1 ක විශිෂ්ට ජයක් හිමිකරගැනීමට කොලොම්බියාවට හැකිවිය. බ්‍රසීලය තරගයේ පළමු අර්ධය හොදින් ආරම්භ කළ අතර හතරවැනි මිනිත්තුවේ දී මාටිනෙලිගේ ප්‍රහාරයෙන් ගෝල 1-0ක් ලෙසින් පෙරමුණ හිමිකරගැනීමට සමත් විය. නමුත් තරගයේ දෙවන අර්ධයේදී මිනිත්තු හතරක් ඇතුළත ලුයිස් ඩයස් ගෝල දෙකක් වාර්තා කරමින් කොලොම්බියාවට විශිෂ්ට ජයක් උරුමකර දෙන්නට සමත් විය. ඔහු තරගයේ 75 හා 79 වැනි මිනිත්තු වලදී ගෝල 2 වාර්තා කළේය.

මොහු කොලොම්බියාව වෙනුවෙන් ක්‍රීඩා කරමින් සිටින්නේ ගරිල්ලා ත්‍රස්තවාදීන් විසින් ඔහුගේ පියා වන ලුයිස් මැනුවෙල් ඩයස් ජිමිනෙස්, ඔක්තෝබර් 28 වන දින රටෙහි උතුරේදී පැහැරගෙන ගොස් නිදහස් කර දින කිහිපයකට පසුවය. ඒ අනුව බ්‍රසීලය පිට පිටම ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරඟ දෙකක් පරාජය වී ඇති අතර, දකුණු ඇමරිකානු ශ්‍රේණිගත කිරීම්වල පස්වන ස්ථානය දක්වා පසු බැස ඇත.

එමෙන්ම ඊයේ දිනයේ බුවනෝස් අයර්ස්හි දී උරුගුවේ කණ්ඩායම හමුවේ පරාජය විය. පසුගිය වසරේ කටාර් හි පැවති ලෝක කුසලාන තරඟාවලියේ පළමු තරගයෙන් පසුව ආජන්ටිනාව කිසිදු තරඟයක් පරාජය වී නොතිබුණි. Ronald Araujo සහ Darwin Nunez ආජන්ටිනාවට එරෙහිව ගෝල 2ක් වාර්තා කිරීමට සමත් විය.නමුත් නියමිත කාලය අවසන් වන තෙක් ආජන්ටිනාවට කිසිදු ගෝලයක් වාර්තා කිරීමට නොහැකි විය.

කණ්ඩායම් 10කින් සමන්විත දකුණු අමෙරිකානු සුදුසුකම් ලැබීමේ කාණ්ඩයේ ආර්ජන්ටිනාව තවමත් පෙරමුණ ගෙන සිටින්නේ තරග පහකින් ප්‍රසාද ලකුණු 12ක් ලබාගෙනය. උරුගුවේ ප්‍රසාද ලකුණු 10 ක් ලබා දෙවැනි ස්ථානයේ පසුවෙයි.