Leicestershire කණ්ඩායමට එරෙහිව පැවති තරගයෙන් ඉනීමකින් හා ලකුණු 141කින් ජයග්‍රහණය කළ ඩර්හැම් ප්‍රාන්ත කණ්ඩායම County තරගාවලියේ දෙවන කොටසේ ශූරතාවය දිනාගැනීමට සමත් වුණා. ඒ දෙවන කොටසේ ප්‍රසාද ලකුණු සටහනේ ප්‍රමුඛයා බවට පත් වෙමින්. ඩර්හැම් ප්‍රාන්ත කණ්ඩායම ක්‍රීඩා කළ තරග 14න් 7ක් ජයග්‍රහණය කළ අතර තරග 6ක් ජයපරාජයෙන් තොරව අවසන් කිරීමට සමත් වුණා.

තරගාවලියේ ඩර්හැම් කණ්ඩායම ක්‍රීඩා කළ මෙම තරගය චෙස්ටර් ලී ස්ට්‍රීට් හි පිහිටි Riverside ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. කාසිය වාසිය දිනා ඩර්හැම් කණ්ඩායමට පන්දුවට පහර දීමට ආරාධනා හිමි වද්දී ඔවුන් සිය පළමු ඉනීමට කඩුලු 8ක් දැවී ලකුණු 457ක් රැස්කොට සිටියදී ඉනීම අත්හිටුවීමට තීරණය කළහ. එහිදී ඩේවිඩ් බෙඩින්ගැහැම් ලකුණු 156ක් හා ග්‍රැහැම් ක්ලාක් ලකුණු 119 රැස්කළහ.

සිය පළමු ඉනීම ඇරඹූ Leicestershire කණ්ඩායමට පළමු ඉනීමේදී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 143ක් පමණි. එහිදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ විශ්ව ප්‍රනාන්දු ලකුණු 40ට කඩුලු 4ක් බිදහෙලද්දි බෙන් රෙයින් කඩුලු 5ක් දවාගැනීමට සමත් විය. Leicestershire දෙවන ඉනීමද ලකුණු 173කට සීමා කරන්නට විශ්ව ප්‍රමුඛ ඩර්හැම් පන්දු යවන්නන් වගබලාගත්හ. එහිදී ද විශ්ව ප්‍රනාන්දු ලකුණු 40කට කඩුලු 3ක් දවාගැනීමට සමත් විය. ඒ අනුව මෙවර County තරගාවලියේ දෙවන කොටසේ ශූරතාවය දිනාගැනීමට ඩර්හැම් ප්‍රාන්ත කණ්ඩායම සමත් විය.