විස්සයි විස්ස පළමු ගැටුමේ ජය නවසීලන්තයට

[vc_row][vc_column][vc_column_text]නවසීලන්තතේ ශ්‍රී ලංකා සංචාරයේ විස්ස විස්ස තරගාවලිය ආරම්භ කරමින් පළමු විස්සයි විස්ස අන්තර්ජාතික තරගය ඊයේ දින නුවර පල්ලේකැලේ ක්‍රිඩාංගනයේ පැවති අතර තරගයෙන් කඩුලු 5ක ජයක් ලබා ගැනීමට ටිම් සවුතී ප්‍රමුඛ නවසීලන්ත කණ්ඩායම සමත් වූයේ කුසල් මෙන්ඩිස්ගේ විශිෂ්ඨ ඉනිම ඵල රහිත ඉනිමක් බවට පත් වෙමිනි.

ටෙස්ට් තරගාවලිය 1-1ක් ලෙස ජය පරාජයෙන් තොරව අවසන් වූ අතර තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලියට දෙපිලම අවතීර්ණ වූයේ ටෙස්ට් කණ්ඩායමට සාපේක්ෂව කණ්ඩායම් සංයුතියේ වෙනස්කම් රැසක් සමගිනි. ශ්‍රී ලංකා පිල ලසිත් මාලිංග විසින් මෙහෙයවද්දී ටිම් සවුතී නවසීලන්ත කණ්ඩායම මෙහෙයවයි.

ඊයේ දිනය පුරා පල්ලේකැලේ ක්‍රීඩාංගණය අවට ප්‍රදේශයට වර්ෂාව ඇද වැටුනත් තරගය ආරම්භ වීමට ආසන්න වන විට කාලගුණ තත්වය යහපත් විය.

කාසියේ වාසිය ජයග්‍රහණය කල ලසිත් මාලිංග ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කල අතර ආරම්භක පිතිකරුවන් ලෙස කුසල් මෙන්ඩිස් සහ කුසල් ජනිත් පෙරේරා පිටියට පිවිසියේ ලකුණු 175ක් හා ඒ අවට ලකුණු ප්‍රමාණයක් රැස් කරගැනීමට අවශ්‍ය අඩිතාලම දැමීමේ අටියෙනි.

පන්දුවාර 6කින් යුත් පවර්ප්ලේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගැනීමේ බලාපොරොත්තුවෙන් මුල් පන්දුවාර දෙකෙන් පසු දැඩි ආක්‍රමණශීලී පිතිකරණයක යෙදීමට ශ්‍රී ලංකා පිල සමත් වූ අතර එහිදී කුසල් මෙන්ඩිස් නවසීලන්ත පන්දු යවනන්න්ට වගකීම් විරහිත ප්‍රහාරයක් එල්ල කලේය.

කෙසේ වුවත් සිව්වන පන්දුවාරයේදී සිය අත්දැකීම් ප්‍රයෝජනයට ගත් ටිම් සවුතී කුසල් ජනිත් පෙරේරාව දවාගැනීමට සමත් වූ අතර එවිට ඔහු පන්දු 10කදී ලකුණු 11ක් පමණක් රැස් කරගෙන සිටි අතර ආරම්භක කඩුල්ලේ සබඳතාවය ලකුණු 41කට සීමා විය.

ඉන් පසු යොවුන් ක්‍රීඩක අවිශ්ක ප්‍රනාන්දු කුසල් මෙන්ඩිස් හා පිටියේ එක් වූ අතර පවර්ප්ලේ අවස්ථාවෙන් පසු නවසීලන්ත දග පන්දු යවන්නන් දෙපල වන ඉශ් සෝධි සහ මිචෙල් සැන්ට්නර් ඉතා හොඳින් පන්දු යවමින් පීඩනය ශ්‍රී ලංකා පිලට එල්ල කල අතර එම නිසාම නවවන පන්දුවාරයේදි පන්දු 17ක් වැය කර ලකුණු 10ක් පමණක් රැස් කරගෙන සිටි අවිශ්ක ප්‍රනාන්දුව ස්ටම්ප් කිරීමකට හසු කර ගැනීමට මිචෙල් සැන්ට්නර් සමත් විය. එවිට ශ්‍රී ලංකා ලකුණු පුවරුව දිස් වූයේ ලකුණු 68/2ක් ලෙසය.

ඉන් පසු පිටියේ එක්වූ උපනායක නිරෝශන් දික්වැල්ල සහ කුසල් මෙන්ඩිස් යලිත් වරක් ඉනිමට ජවය සැපයූ අතර දික්වැල්ල හැකිතරම් අන්තය මාරු කරමින් ස්ථාවරව ලකුණු රැස් කරමින් සිටි කුසල් මෙන්ඩිස් හට ලකුණු රැස් කිරීමට අවස්ථාව ලබා දුන්නේය.

තෙවන කඩුල්ල සඳහා පන්දු 42කදී ලකුණු 63ක සාර්ථක සබඳතාවයක් ගොඩ නැගූ මෙම දෙපලේ සබඳතාවය අවසන් වූයේ කුසල් මෙන්ඩිස් ගේ දැවී යාමත් සමගය. ලෝන් ඕන් කලාපයේ සිටි මාටින් ගප්ටිල් හට උඩ පන්දුවල් ලබාදෙමින් සිය ඉනිම නිමාකිරීමට ඔහුට සිදුවිය.

ආරම්භක පිතිකරු ලෙස පිටියට පැමිණි කුසල් මෙන්ඩිස් සිය අන්තර්ජාතික විස්සයි විස්ස දිවියේ හොඳම ඉනිම ක්‍රීඩා කරමින් ලකුණු 79ක් රැස් කලේ පන්දු 53ක් පමණක් වැය කරමිනි.

මෙම අගනා ඉනිම දර්ශනීය හතරේ පහරවල් අටක් සහ දැවැන්ත හයේ පහරවල් දෙකකින් සමන්විත වූ අතර නවසීලන්ත කණ්ඩායමට එරෙහිව ආසියාතික ආරම්භක පිතිකරුවෙක් රැස් කරන ලද ඉහලතම ලකුණු ප්‍රමාණය ලෙසද මෙය වාර්තා පොත් අතරට එකතු විය.

තෙවන කඩුල්ල දැවී යන විට පන්දුවාර 16ක් හා එක් පන්දුවක් අවසානයේ ලකුණු 131ක් රැස් කරගෙන සිටි අතර පන්දුවාර විස්ස අවසානයේ ලකුණු 174ක් රැස් කරගැනීමට ශ්‍රී ලංකා පිල සමත් විය. එයට පන්දු 12කින් ලකුණු 17ක් ලබාගත් දසුන් ශානක සහ පන්දු 25කදී ලකුණු 33ක් රැස් කරගත් නිරෝශන් දික්වැල්ල දායකත්වය සැපයීය. නිරෝශන් දික්වැල්ලගේ දුවද්දී දැවී යාමෙන් පසු ඉනිමේ අවසාන පන්දු තුන පමණක් මුහුණ දීමට පිටියට පැමිණි ඉසුරු උදාන එම පන්දු 3 තුලදී ලකුණු 15ක් රැස් කරගැනීමට සමත් වුනේ යෝධ හයේ පහරවල් දෙකක්ද සමගිනි.

නවසීලන්ත පිලට ලකුණු 175ක තරමක අභියෝගාත්මක ඉලක්කයක් හිමි වූ අතර පන්දු යැවිමේදි සිය නායකත්ව වගකීම අකුරටම ඉටු කල ටිම් සවුතී මනා සංයමයකින් යුතුව පන්දු යවමින් කඩුලු දෙකක් දවාගත්තේ ලකුණු 20ක් පමණක් ලබාදෙමිනි. ඊට අමතටව මිචෙල් සැන්ට්නර් ද එක් කඩුල්ලක් දවාගත්තේ ලකුණු 22ක් පමණක් ලබා දෙමිනි. සෙසු පන්දු යවනන්න් සියල්ලම පාහේ අසාර්ථක වූ අතර වේග පන්දු යවන ක්‍රීඩක සෙත් රෙන්ස් පන්දු වාර හතරකදී ලකුණු 54ක් ලබා දීම කැපී පෙනන ලක්ෂණයක් විය.

පිළිතුරු ඉනිම ආරම්භ කල කොලින් මුන්‍රෝ හා මාටින් ගප්ටිල් අතරින් කුලින් මුනෝ හට ලකුණු නොලබාම ඔහු ක්‍රිඩා කල පළමු පන්දුවෙන්ම ක්‍රිඩාගාරයට හරවා යැවීමට ලසිත් මාලිංග සමත් විය. ඒ ඔහුගේ සුපුරුදු යෝකර් පන්දුව නිසාය. මෙම හඹා යෑම පහසු හඹා යෑමක් නොවන බව පසක් කරමින් අනෙක් ආරම්භක පිතිකරුවා වූ මාටින් ගප්ටිල් ව ලකුණු 11ක් පමණක් රැස් කරගෙන සිටියදී දවා ගැනීමට සමත් වීමට අකිල ධනංජය සමත් විය. ආරම්භයේ සිටම දිගින් දිගටම ඉතා හොඳින් පන්දු යවමින් පීඩනය එල්ල කිරීමට ශ්‍රී ලංකා පන්දු යවනන්න් වග බලා ගත් අතර ඉනිමේ හත් වන පන්දු වාරයේදී ටිම් සයිෆර්ට් පන්දු 21කදී ලකුණු15ක් රැස් කරගෙන සිටියදී දවා ගැනීමට වනිදු හසරංග සමත් විය. සිය විස්සයි විස්ස තරග දිවියේ මංගල තරගයේ මංගල පන්දුවාරයේ දෙවන පන්දුවෙන්ම කඩුල්ලක් දවාගැනීමට ඔහු සමත් විය.

තෙවන කඩුල්ල අවසානයේ නවසීලන්ත ලකුණු පුවරුව 39/3ක් ලෙස දැක්වුනු අතර ලකුණු 175ක ඉලක්කය ඉතා අපහසු ඉලක්කයක් බවට එම අවස්ථාවයේ දිස් විය.

පිටියේ එක්වූ අත්දැකීම් බහුලතම පිතිකරුවා වූ රෝස් ටේලර් සහ කොලින් ඩී ග්‍රැන්ඩ්හොම් පීඩනය අමතක කරමින් රිසි සේ පන්දුවට පහර දීමට ගත්තේ ශ්‍රී ලංකා පන්දු යවනන්න්ට දැඩි තර්ජනයක් බවට පත් වෙමිනි. කඩා වැටුනු නවසීලන්ත ඉනික ඉතා වේගයෙන් ගොඩ නගිමින් ලකුණු 175 ඉලක්කය කරා යෑමට මෙම ක්‍රීඩකයන් දෙදෙනා සමත් වූ අතර පීඩනය යලි ශ්‍රී ලංකා පිලට හරවා යැවීමට මෙම දෙපල සමත් විය.

13 වන පන්දුවාරයේ යලි ක්‍රියාත්මක වූ ලසිත් මාලිංග අවශ්‍යම මොහොතේ මෙම සබදතාය නතර කිරීමට සමත් විය. ලසිත් මාලිංග ගේ ලෝ ෆුල් ටොස් පන්දුවකට කොලින් ඩී ග්‍රැන්ඩ්හොම් ගොදුරු වන විට ඔහු ලකුණු 44ක් රැස් කරගෙන සිටියේ පන්දු 28ක් පමණක් වැයකරමින්ය.

නවසීලන්ත ඉනිමේ මුල් භාහයේ පාලනය ශ්‍රී ලංකා පිල නතු වූවත් කෙමෙන් කෙමෙන් එය ගිලිහී ගිය අතට අවසාන පන්දු වාර පහ තුලදී නවසීලන්ත පිලට ලකුණු 51ක් රැස් කිරීමට තිබුනේ කඩුලු 6ක් අතැතිව තිබුනු අවස්ථාවකය. ශෙහාන් ජයසූරිය සහ දසුන් ශානක රෝස් ටේලර් ගේ උඩ පන්දු දෙකක් රැකගැනීමට අපොහොසත් වීම කැපී පෙනන කරුණක් විය. 17 වන පන්දුවාරය නිම වීමට පන්දුවක් තිබියදී පන්දු 29කදී ලකුණු 48ක් රැස් කල රෝස් ටේලර් දවා ගැනීමට වනිදු හසරංග සමත් වීමත් සමග යලිත් වරක් තරගය දෙපිලටම විවර විය.

සුලු වර්ශාවකින් පසු යලි තරගය ආරම්භ වූ අතර අවසාන පන්දුවාර දෙක තුලදී ලකුණු 18ක් රැස් කිරීමට තිබූ අවස්ථාවක කණ්ඩායමේ හොඳම පන්දු යවන්නා වූ මාලිංගට සිය රාජකාරිය අකුරටම කිරීමට අපොහොසත් වෙමින් ල් ඔහුගේ සිව්වන පන්දුවාරයයෙන් ලකුණු 15ක් ලබා දීමට සිදු විය. එයත් සමගම නවසීලන්ත ජයග්‍රහණය ඉතා පහසු කාර්යයක් බවට පත් වෙමින් අවසාන පන්දුවාරයේ පන්දු 3ක් පමණක් ඉතිරිව තිබියදී සිය ඉලක්කය සපුරා ගැනීමට නවසිලන්තය සමත් විය. ලසිත් මාලිංග සහ වනිදු හසරංග හැරුනුකොට අනෙක් කිසිදු පන්දු යවන්නෙක්ට සිය වගකීම නිසියාකාරව සිදු කිරීමට අපොහොසත් වීම තරගයේ පරාජයට හේතුවක් විය.

තරගයේ වීරයා ලෙස රෝස් ටේලර් නම් කෙරුනි.

තරගාවලියේ දෙවන සහ තෙවන තරග පිලිවෙලින් සැප්තැම්බර් 3 සහ 6 දිනවලදී පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ ම පැවැත්වීමට නියමිතය.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top