Shehan Ambepitiya 2008 වර්ෂයේ දී ඉන්දියාවේ පූනේ හි ශ්‍රී ශිව් චත්‍රපතී ක්‍රීඩා සංකීර්ණය තම අනසකට පත් කරගත්තේය. ඒ එම වර්ෂයේ පැවති තුන්වන පොදු රාජ්‍ය මණ්ඩලීය යොවුන් ක්‍රීඩා උළෙලේ දැක් වූ අසමසම දක්ෂතාවය නිසාය. එම තරගාවලියේ ඔහු දිනා ගත්තේ එක් රන් පදක්කමක් නොව සමස්ත ශ්‍රී ලංකා කණ්ඩායම දිනා ගත් රන් පදක්කම් ත්‍රිත්වයම ෂෙහාන් දිනා ගත් පදක්කම්ය. එවකට පොදු රාජ්‍ය මණ්ඩලීය කලාපයේ වේගවත්ම යොවුන් ධාවකයා වූයේ ද ඔහුය.

තත්පර 10.43 ක කාලයකින් මීටර් 100 ඉසව්වේ රන් පදක්කම ඔහු දිනා ගත්තේ නව තරග වාර්තාවක් ද සමඟිනි. ඉන් නොනවතින මේ යොවුන් ධාවකයා මීටර් 200 රන් පදක්කම ද තම ගෙල පළඳවා ගන්නේ තත්පර 21.27 කාලයක් වැය කරමින් වීම ද විශේෂත්වයකි. ඉන් නොනවතින ඔහු තෙවන රන් පදක්කම දිනා ගන්නේ මීටර් 100 සහය දිවීමේ ඉසව්වෙනි. රනිල් ජයවර්ධන, රොෂාන් චාමර සිල්වා සහ කීත් ද මෙල් සමඟ එක්ව නව තරග වාර්තාවක් ද බිහි කල එම කාලය සටහන් වූයේ තත්පර 40.85 ලෙසයි.

මෙම විශිෂ්ට ක්‍රීඩකයා පිළිබඳ දේශීය මෙන්ම විදේශීය අවධානය යොමු වන්නේ මෙම ජයග්‍රහණයන්ට අනතුරුවයි. රාජගිරිය ජනාධිපති විද්‍යාලයේ සිට ගේට්වේ ජාත්‍යන්තර පාසලට ශිෂ්‍යත්වයක් ඔහුට ලැබෙන්නේත් අනුග්‍රාහක භවතුන් ඔහු සොයා එන්නේත් ඔහුගේ දක්ෂතාවය නිසා මිස වෙන කිසිවක් නිසා නොවෙයි.

කාලය ගතවෙද්දී ෂෙහාන් අඹේපිටිය වරෙක ආබාධ වලට ගොදුරු වන්නටත්, තවත් වරෙක සුපුරුදු දක්ෂතාවයන් අතරට පැමිණීමට ද අපොහොසත් වන්නේය. ඒ අතරතුර ජාතික මට්ටමේ මෙන්ම ජාත්‍යන්තර තලයේ දක්ෂතාවයන් ද ඔහු නම ඉදරියේ සනිටුහන් විය.

ශිෂ්‍යත්ව ලැබීමට උපන් වාසනාවන්තයෙක් වූ ෂෙහාන් ජැමෙයිකාවේ පුහුණු ශිෂ්‍යත්වයක් ද ලබාගන්නේය. ෂෙහාන් අඹේපිටිය නම් වූ සුපිරි ක්‍රීඩකයාගේ ක්‍රීඩා දිවියට කන කොකා හඬලන්නට පටන් ගත්තේ එම පුහුණුව සමඟ යැයි කිවහොත් මලල ක්‍රීඩා ප්‍රවීණයන් පවා එයට සාක්ෂිකරුවන් වනු ඇත. ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන්ගේ ශාරිරික තත්වයන්ට වඩා බරපතල පුහුණුවක් එහිදී දරන්නට , කරන්නට සිදු වන බව සැබෑවකි. ජැමෙයිකාවේ පුහුණුවේ අරමුණ වූයේ දක්ෂතා වර්ධනයක් වූව ද එය එපරිද්දෙන්ම සිදු නොවූයේ එම නිසා විය හැකිය.

ක්‍රීඩාවට පමණක් නොව අධ්‍යාපන කටයුතු සඳහා ද සමතෙක් වන ෂෙහාන් ව්‍යාපාර කලමණාකරණය පිළිබඳ උපාධි ධාරියෙක් ද වන්නේ ය. වෘත්තීයෙන් පෞද්ගලික මාධ්‍ය ආයතනයක අලෙවි නිලධාරියෙක් ( Marketing)ලෙස ද ඔහු සේවය කරන්නේය.

මේ සියලු තත්ත්වයන් අතරේ ෂෙහාන් අඹේපිටිය ක්‍රීඩකයා ගැන බොහෝ දෙනා මෑතක දී කථා බහ කරා නම් ඒ 21වන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දීය. මීටර් 100 සහය දිවීමේ ඉසව්වෙන් තත්පර 39.08 ක කාලයකින් එම ඉසව්වේ 6වන ස්ථානය දිනා ගැනීමට ඔහු ඇතුලු Himasha EshanVinoj De Silva සහ මොහොමඩ් අෂ්රෆ් සමත් වූයේ නව ශ්‍රී ලංකා වාර්තාවක් ද සමඟිනි.

ඊයේ දිනයේ (අගෝස්තු 17වනදා) ජාතික මලල ක්‍රීඩා තරගාවලිය අතරතුර ඔහු 16 වසරක මලල ක්‍රීඩාවට සමු දෙන්නට තීරණය කළේය. ඒ ජාත්‍යන්තර තලයේ වසර 13 ක කාලයක් පුරා දිනා ගත් ජයග්‍රහණ සහ ලබා ගත් අත්දැකීම් ද සමඟිනි.

එම කාලය තුල ඔලිම්පික් හැර සෑම ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරගාවලියක් ම ඔහු ශ්‍රී ලංකාවේ නාමය නියෝජනය කරන්නට ඇතැයි සිතමි. ඔහුට ඔලිම්පික් නියෝජනය සඳහා පුහුණුකරුවෙක් ලෙස හෝ පරිපාලකයෙක් ලෙස හෝ සහභාගී වීමට ද සුදුසුකම් නැතිවා ද නොවේ. ඔබේ එම පැතුම ද ඉටු කරගන්නට හැකියාව ශක්තිය ඔබට නොඅඩුව ලැබෙනු ඇත

2008 වර්ෂයේ පොදු රාජ්‍ය මණ්ඩලීය යොවුන් ක්‍රීඩා උළෙලේ ජයග්‍රහණයෙන් පසුව වසර 11ක් ගත වුවද අදටත් ඔබ එදා මෙන්ම නිරහංකාරය. එදා බත්තරමුල්ලේ ඔබේ නිවසේ දී පළමු වරට කල සම්මුඛ සාකච්ඡාවේදී මෙන්ම අදටත් ඔබ එසේමය. දකුණු ආසියාතික ක්‍රීඩා උළෙල ඔබේ අවසන් ඉලක්කය වන්නට ඇතැයි සිතමි. නමුත් එය යථාර්ථයක් නොවනු ඇතැයි ඔබ සිතන්නේද විය හැකිය. එය එසේ වී ඔබ ක්‍රීඩාවෙන් සමුගත්ත ද ඔබ ගෙන දුන් කීර්තිමත් ජයග්‍රහණ කිසිවෙකුට මකා දැමිය හැකි නොවන්නේද???

-සුපුන් රජිත හෙට්ටිආරච්චි-