සංචාරක සිම්බාබේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු එක්දින තරඟය අද කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වුණා. තරගයේ කාසිය වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර පනහ අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 273ක් රැස් කළා. එහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ චරිත් අසලංක පන්දු 95ක් තුළදී හතරේ පහර පහක් සහ හයේ පහර හතරක් සමගින් ලකුණු එකසිය එකක් රැස්කොට සිටියදී දුවද්දී දැවී යාමට හසුවුණා.

ශ්‍රී ලංකා නායක කුසල් මෙන්ඩිස් පන්දු 48කදි හතරේ පහර හයක් සමගින් ලකුණු 46ක් රැස් කලා. සතිර සමරවික්‍රම පන්දු තිස් එකකදී ලකුණු හතළිස් එකක්ද මංගල එක්දින තරඟය ක්‍රීඩා කළ ජනිත ලියනගේ පන්දු තිස් හතරකදී ලකුණු 24 ක්ද රැස්කළා. පන්දු යැවීමේදී සිම්බාබේ කණ්ඩායම වෙනුවෙන් නගර්වා, මුසුරබානි හා අක්‍රම් කඩුලු 2 බැගින් දවාගැනීමට සමත් වුණා.

ඉලක්කයම හඹා යාම වෙනුවෙන් පිටියට පිවිසෙන සිම්බාබේ කණ්ඩායමේ පළමු කඩුලු දෙක ලකුණු පහක් තුළදී දවා ගැනීමට ඩිල්ෂාන් මධුසංඛ සමත් වුණා. නමුත් පන්දුවාර හතරක් අවසන් වන විට තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර ඉන්පසු තරඟය පැවැත්වීමට හැකි වූයේ නැහැ. හේතුවෙන් ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම අතර පළමුවැනි එක් දින තරඟය අතහැර දමන්නට සිදුවුණා.