රග්බි ලෝක කුසලාන තරගාවලියේ තවත් එක් තියුණු තරගයක් අද දිනයේදී පැවැත්විණි. ඒ ලෝක ශ්‍රේණිගත කිරීම්හි 7 වැන්නා ලෙස රැඳෙන ඕස්ට්‍රේලියාව හා 9 ස්ථානය හිමි ෆීජි කණ්ඩායම අතරයි. මෙම තරගයෙන් ලකුණු 22ට 15ක් ලෙසින් විශිෂ්ට ජයක් ලබන්නට ෆීජි කණ්ඩායම සමත් වුණා.

තරගයේ පළමු අර්ධය තුළදී ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන් උත්සාහක දිනුමක් හා දඩුවම් පහරක් සාර්ථක කරගනිමින් ලකුණු 8ක් රැස්කිරීමට සමත් වුණා. ප්‍රතිවාදීන් ෆීජි ක්‍රීඩකයන් එම අර්ධය තුළදී දඩුවම් පහර හතරක් සාර්ථක කරගන්නට සමත් වූයේ ලකුණු 12ක් රැස්කරමින්. ඒ අනුව ලකුණු 4කින් පෙරමුණ හිමිකරගැනීමට ෆීජි ක්‍රීඩකයන් සමත් වුණා.

දෙවන අර්ධය තවත් උණුසුම් මුහුණුවරක් ගනිද්දී ඕස්ට්‍රේලියානු කණ්ඩායම උත්සාහක දිනුමක් හා එහි ප්‍රවර්ථනය සාර්ථක කරගන්නට සමත් වුණා. ඊට දෙවැනි නොවූ ෆීජි ක්‍රීඩකයන් ද තවත් උත්සාහක දිනුමක් හා ප්‍රවර්ථනයට අමතරව දඩුවම් පහරක් ද සාර්ථක කරගත්තා. ඒ අනුව නියමිත කාලය අවසානයේ ලකුණු 22ට 15ක් ලෙසින් ජයග්‍රහණය කිරීමට ෆීජි කණ්ඩායම සමත් වුණා. C කාණ්ඩයේ දෙවැනි තැනට පත්වන්නට ෆීජි කණ්ඩායමට ඒ සමගින් අවස්ථාවක් හිමි වුණා.