හිටපු ලෝක ශූර ක්‍රිස්ටියන් කෝල්මන් පසුගිය සෙනසුරාදා (සැප්තැම්බර් 2) පැවති සමාරම්භක Xiamen Diamond League තරගාවලියේ පිරිමි මීටර් 100 ඉසව්ව ජයග්‍රහණය කිරීමට සමත් විය. ක්‍රිස්ටියන් කෝල්මන් මෙම වසරේ මීටර් 100 ඉසව්වෙහි වේගවත්ම කාලය වාර්තා කිරීමට ඊයේ දිනයේදී සමත් විය.

2019 වසරේ මීටර් 100 ඉසව්වේ ලෝක ශූරයා ලෙසින් කිරුලු පැලදි කෝල්මන් ඊයේ දිනයේ තත්පර 9.83ක කාලයක් වාර්තා කළ අතර එය Noah Lyles සහ Zharnel Hughes විසින් මින් පෙර මෙම වසරේ දී වාර්තා කළ කාලය සම කිරීමකි. එක්සත් රාජධානියේ Zharnel Hughes මෙම වසරේ ජූනි මාසයේදීද ඇමරිකා එක්සත් ජනපදයේ Noah Lyles මෙම වසරේ අගෝස්තු මසදී ද මීටර් 100 ඉසව්ව තත්පර 9.83කින් අවසන් කරමින් වසරේ හොඳම කාලය වාර්තා කොට තිබුණි.

2022 වසරේ මීටර් 100 ඉසව්වේ ලෝක ශූරයා වූ ෆ්‍රෙඩ් කර්ලි ජැමෙයිකාවේ කිෂාන් තොම්සන්ට පිටුපසින් තෙවැනි ස්ථානයට පත්විය. ඔලිම්පික් ශූර Marcell Jacobs මෙම ඉසව්ව අවසන් කළේ හත්වැන්නා ලෙසිනි. තොම්සන් තත්පර 9.85 ක පුද්ගලික හොඳම කාලය වාර්තා කළ අතර කර්ලි තත්පර 9.96 ක කාලයක් ගත කළේය.