2012 දී ප්‍රථම වරට පැවැත්වූ SLPL මතකාවර්ජනය

[vc_row][vc_column][vc_column_text]නොවැම්බර් මස 26වනදා සිට දෙසැම්බර් මස 16 දක්වා කාල වකවානුවේදී පැවැත්වීමට යෝජිත ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ශ්‍රී ලාංකීය ක්‍රිකට් ප්‍රේක්ෂකයන් තුළ දැඩි කතාබහට ලක්වී ඇති පසු බිමක 2012 වසරේදී ප්‍රථම වරට පැවැත්වූ ශ්‍රී ලංකන් ප්‍රිමියර් ලීග් තරගාවලිය පිළිබදව ප්‍රේක්ෂක ඔබ සතු මතකයන් නැවත ආවර්ජනය කිරීම උදෙසා ක්‍රීඩා ස්පෝර්ට්ස් නෙට්වර්ක් තබන සටහනකි.

ලීග් ක්‍රිකට් ඉතිහාසයට අත් පොත් තබමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ප්‍රථම හා එකම අදියර වෙනුවෙන් පාකිස්තානය, බංග්ලාදේශය, නවසීලන්තය, ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, බටහිර ඉන්දීය කොදෙව් දූපත් හා සිම්බාබ්වේ යන රටවල් නියෝජනය කරමින් විදෙස් ක්‍රීඩකයන් එක්විය. ශ්‍රී ලංකාවේ පළාත් 9 අතුරින් 7ක් නියෝජනය වන පරිදි කණ්ඩායම් සදහා නාමකරණයන් හිමිවද්දී කණ්ඩායම් සියල්ලෙහි නායකත්වයන් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්හට හිමිවිය.

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් මංගල තරගය

කොළඹ ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය හා පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රිකට්  ක්‍රීඩාංගණය කේන්ද්‍ර කොටගනිමින් පැවති තරගාවලියේ මූලික වටයේදී කණ්ඩායම් සියල්ල එකිනෙකා හා තරග වදිද්දී තරගාවලියේ ආරම්භක තරගය වෙනුවෙන් ලසිත් මාලිංගගේ  නායකත්වයෙන් යුතු රුහුණ රෝයල්ස් කණ්ඩායම හා ඇන්ජිලෝ මැතිවුස්ගේ නායකත්වයෙන් යුතු නැගෙනහිර නාගාස් කණ්ඩායම සහභාගි විය.

තරගයේ පළමුව පන්දුවට පහර දුනු රුහුණ රෝයල්ස් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේදී සියලු දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 134ක් පමණි. මංගල තරගයටම වර්ෂාව හරස් වූ නිසාවෙන්  ඩක්වත් ලුවිස් න්‍යාය අනුව පන්දුවාර 12කදී ලකුණු 73ක ඉලක්කයක් සපුරාලිය යුතු වුවද ඒ වන විට කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 77ක් ලබාගෙන තිබූ බැවින් තරගයේ ජය නැගෙනහිර නාගාස් ක්‍රීඩකයන් සතු විය.

ඉහළම ලකුණු පුවරුව දිස්වූ තරගය

මහේල ජයවර්ධන මෙහෙයවනු ලැබූ වයඹ යුනයිටඩ් කණ්ඩායම හා ජෙහාන් මුබාරක් මෙහෙයවනු ලැබූ උතුර රුඩ්‍රාස් කණ්ඩායම අතර පැවති මූලික වටයේ තෙවන තරගයේදී පිතිකරුවන් කැපීපෙනෙනෙ දස්කම් දක්වන්නට විය. ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් උතුරු රුඩ්‍රාස් කණ්ඩායම කඩුලු 7ක් දැවී රැස්කළ ලකුණු 179ට පිළිතුරු වශයෙන් වයඹ යුනයිටඩ් ක්‍රීඩකයන් එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 183ක් රැස්කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙනගියේ තරගාවලියේ ඉහලම ලකුණු වාර්තා වූ තරගය බවට එම තරගය පත් කරමිනි.

වයඹ යුනයිටඩ් කණ්ඩායම වෙනුවෙන් ආරම්භ පිතිකරු යුගලය වූ තමිම් ඉක්බාල් හා කම්රන් අක්මාල් එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් එක්කල ලකුණු 176 තරගාවලියේ ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් ගොඩනැගූ ඉහලම සම්බන්ධතාවය බවට පතවිය. පන්දු 61කදී හතරේ පහර 7ක් හා හයේ පහර 6ක් සමගින් ලකුණු 93ක් රැස්කිරීමට තමිම් ඉක්බාල් සමත් වද්දී ඊට අනගි සහයක් එක්කල කම්රන් අක්මාල් පන්දු 55කදී හතරේ පහර 7ක් හා හයේ පහර 3ක් සමගින් ලකුණු 79ක් රැස්කරන්නට සමත් විය.

ඉනීමක සාර්ථකම ලකුණු පුවරුව

තරගාවලියේ ඉනීමකදී කණ්ඩායමක් රැස්කළ ඉහලම ලකුණු සංඛ්‍යාවට හිමිකම් කියන්නට වයඹ යුනයිටඩ් කණ්ඩායම සමත්වූයේ නැගෙනහිර නාගාස් කණ්ඩායමට එරෙහිව පන්දුවාර විස්ස තුළදී කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 190ක් රැස්කරමිනි. එහිදී නායකත්වයේ ඉනීමක් ක්‍රීඩා කළ වයඹ යුනයිටඩ් නායක මහේල ජයවර්ධන පන්දු 50ක් තුළ හතරේ පහර 11ක් හා හයේ පහර 5ක් සමගින් වේගවත් ලකුණු 96ක් නොදැවී රැස්කරන්නට සමත්වූයේ තරගාවලියේ ඉනීමක් තුළ පිතිකරුවෙක් රැස්කළ ඉහලම ලකුණු සංඛ්‍යාවට හිමිකම් කියමිනි.

ප්‍රතිවාදී නැගෙනහිර නාගාස් කණ්ඩායමට පන්දුවාර 19 පන්දු 5ක් අවසානයේදී සියලු දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 134ක් පමණි. නැගෙනහිර කණ්ඩායම වෙනුවෙන් හුදෙකලා ඉනීමක් දියත් කල ඇන්ජිලෝ පෙරේරා නොදැවී ලකුණු 48ක් රැස්කරද්දී තරගාවලියේ ලාබාලතම ක්‍රීඩකයා වූ වයඹ යුනයිටඩ් කණ්ඩායමේ අකිල ධනංජය ප්‍රතිවාදී නැගෙනහිර නාගාස් කණ්ඩායමේ කඩුලු 3ක් දවාගන්නට සමත් විය.

අඩුම ලකුණකට ප්‍රතිවාදීන් සීමා කළ තරගය

තරගාවලියේදී ප්‍රතිවාදී කණ්ඩායමක් අඩුම ලකුණු සංඛ්‍යාවකදී දවාගැනීමේ ගෞරවය හිමිකරගන්නට වයඹ යුනයිටඩ් කණ්ඩායමට හැකිවූයේ තිලකරත්න ඩිල්ෂාන්ගේ නායකත්වයන් යුතු බස්නාහිර ක්‍රිකට් දන්ඩි කණ්ඩායමට එරෙහිව පැවති මූලික වටයේ දසවන තරයේදීය. ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් වයඹ යුනයිටඩ් කණ්ඩායම කඩුලු 9කට ලකුණු 165ක් රැස්කරද්දී කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වූ කම්රන් අක්මාල් ලකුණු 65ක් රැස්කිරීමට සමත් විය. ප්‍රතිවාදී බස්නාහිර ක්‍රිකට් දන්ඩි කණ්ඩායමේ ක්‍රීඩකයන් සියලු දෙනා පන්දුවාර 19 එක්පන්දුවකදී ක්‍රීඩාගාරයට හරවා යවන්නට කෞෂල්‍යය වීරරත්න ප්‍රමුඛ වයඹ යුනයිටඩ් පන්දුයවන්නන් සමත් විය. එහිදී කෞෂල්‍යය වීරරත්න ලකුණු 11කදී කඩුලු 3ක් හා අකිල ධනංජය ලකුණු 15කදී කඩුලු 2ක් බිදහෙලමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.

තරගාවලියේ හොදම පන්දු යැවීම

තිළිණ කණ්ඩම්බිගේ නායකත්වයෙන් යුතු ඌව නෙක්ස්ට් කණ්ඩායම හා බස්නාහිර ක්‍රිකට් දන්ඩි කණ්ඩායම අතර ආර්.ප්‍රේමදාස පිටියේ පැවති තරගයේ මුලින්ම පන්දුවට පහර දුන් බස්නාහිර කණ්ඩායමේ කඩුලු 5ක් ලකුණු 17කදී දවා ගනිමින් තරගාවලියේ ඉනීමක හොදම පන්දු යැවීම වාර්තා කරන්නට ශ්‍රි ලංකා හිටපු වේගපන්දු යවන ක්‍රීඩක දිල්හාර ප්‍රනාන්දු සමත් විය.

දිල්හාර ප්‍රමුඛ ඌව නෙක්ස්ට් පන්දුයවන්නන් හමුවේ බස්නාහිර ක්‍රිකට් දන්ඩි කණ්ඩායමට පන්දුවාර 20 තුළ කඩුලු 9ක් දැවී රැස්කරන්නට හැකිවූයේ ලකුණු 136ක් පමණි. බස්නාහිර කණ්ඩායමේ ලකුණු පුවරුව වෙනුවෙන් නායක තිලකරත්න ඩිල්ෂාන් ලකුණු 56කින් හා ජීවන් මෙන්ඩිස් ලකුණු 34කින් දායක විය. ප්‍රතිවාදී ඌව නෙක්ස්ට් ක්‍රීඩකයන් පන්දුවාර 18 පන්දු 2 අවසානයේදී කඩුලු 2ක් පමණක් දැවී ඉලක්කය සපුරා ගනිද්දී ඌව කණ්ඩායම වෙනුවෙන් උපුල් තරංග නොදැවුනු ලකුණු 65ක් එක්කරන්නට සමත් විය.

පළමු අවසන් පූර්ව තරගය

ප්‍රසාද ලකුණු සටහනේ ප්‍රථම ස්ථානය හිමිකරගත් වයඹ යුනයිටඩ් කණ්ඩායම සමගින් පලමු අවසන් පූර්ව තරගය වෙනුවෙන් එක් වූයේ ප්‍රාසාද ලකුණු සටහනේ සිව්වැන්නා බවට පත් වූ ඌව නෙක්ස්ට් කණ්ඩායමයි. කොළඹ ආර් ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති තරගයේ කාසිය වාසිය දිනාගත් ඌව නෙක්ස්ට් නායක තිලිණ කණ්ඩම්බි පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කල අතර එම තීරණයට සාදාරණයක් ඉටුකරන්නට ඌව කණ්ඩායමේ පිතිකරුවන්ට හැකිවිය.

පන්දුවාර 20 අවසානයේදී ඌව නෙක්ස්ට් කණ්ඩායමේ ලකුණු පුවරුව දිස්වූයේ කඩුලු 6කදී ලකුණු 171ක් ලෙසිනි. අවසන් මහා තරගයට පිවිසීමේ අරමුණ පෙරදැරිව ලකුණු 172ක ඉලක්කය වෙනුවෙන් පිටියට පිවිසි වයඹ යුනයිටඩ් කණ්ඩායමේ මුල් පෙල කඩුලු 7 ලකුණු 27කදී දවාගන්නට ඌව නෙක්ස්ට් පන්දු යවන්නන් සමත් විය. නමුත් තරගයේ ජයග්‍රහණය උදෙසා අටවන කඩුල්ල වෙනුවෙන් අගනා ලකුණු 120ක් එක්කරන්නට ඉසුරු උදාන සමගින් එක්වූ පාකිස්තාන ක්‍රීඩක අසාර් මහමුඩ් සමත් විය.

පන්දුවාර 20 අවසානයේ වයඹ යුනයිටඩ් කණ්ඩායමට කඩුලු 8ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 151ක් පමණි. ඒ අනුව ලකුණු 20කින් පළමු අවසන් පූර්ව තරගයේ ජයග්‍රහණය හිමිකරගත් ඌව නෙක්ස්ට් කණ්ඩායම අවසන් මහා තරගයේ සිය ස්ථානය තහවුරු කරගන්නට සමත් විය.

වර්ෂාව හරස් වූ දෙවන අවසන් පූර්ව තරගය

තරගාවලියේ ප්‍රාසද ලකුණු සටහනේ දෙවන ස්ථනයේ රැදුණු නැගෙනහිර නාගාස් කණ්ඩායම හා තෙවන ස්ථනයට හිමිකම් කී කදුරට වොරියස් කණ්ඩායම දෙවන අවසන් පූර්ව තරගය වෙනුවෙන් තරග බිමට පිවිසීමට නියමිත වුවද මුලු මහත් තරගය පුරාවටම වර්ෂාව හරස් වූ නිසාවෙන් කිසිදු පන්දුවක් යොමුකිරීමකින් තොරව තරගය අත් හැර දැමීමට සංවිධායකයන්හට සිදුවිය. තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහන අනුව ඉදිරියෙන් පසුවූ නැගෙනහිර නාගාස් කණ්ඩායම ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් කිරුල වෙනුවෙන් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීය.

අවසන් මහා ගැටුම

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් මහා තරගය අගෝස්තු මස 31වනදා කොළඹ ආර් ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වූයේ ඇන්ජිලෝ මැතිවුස් නායකත්වය හෙබවූ නැගෙනහිර නාගාස් කණ්ඩායම හා තිළිණ කණ්ඩම්බිගේ නායකත්වයෙන් යුතු වූ ඌව නෙක්ස්ට් කණ්ඩායම අතරයි. කාසිය වාසිය දිනූ නැගෙනහිර නාගාස් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීම තීරණය කළ අතර පන්දුවාර 9 එක් පන්දුවක් අවසානයේදී නැගෙනහිර නාගාස් ලකුණු පුවරුව කඩුලු 3කදී ලකුණු 47ක් ලෙස දිස් වූ මොහොතක තරගයට වර්ෂාවෙන් බාධා එල්ල විය.

පැය දෙකකට ආසන්න කාලයක් පුරාවට වර්ෂාව හේතුවෙන් තරගය ආරම්භ කිරීමට නොහැකි වූ අතර අනතුරුව පන්දුවාර 15කින් සමන්විත තරගයක් ලෙසින් අවසන් මහා තරගය නැවත ආරම්භ විය. පන්දුවාර 15 අවසාන වන විට නැගෙනහිර නාගාස් කණ්ඩායමට කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 134ක් රැස්කිරීමට හැකිවිය. නායකත්වයේ විශිෂ්ට ඉනීමක් ක්‍රීඩා කළ ඇන්ජිලෝ මැතිවුස් පන්දු 27කදී හතරේ පහර 8ක් හා හයේ පහර 4ක් සමගින් වේගවත් ලකුණු 73ක් රැස්කිරීමට සමත් වද්දී කණ්ඩායමේ අනික් කිසිදු පිතිකරුවකු ලකුණු 20 සීමාව පසු කිරීමට අසමත් විය.

ලකුණු 135 ඉලක්කය වෙනුවෙන් පිටියට පිවිසි ඌව නෙක්ස්ට් කණ්ඩායමේ මුල්ම කඩුල්ල ලෙස භානුක රාජපක්ෂ දැවීයාමෙන් පසුව පිටියට එක්වූ සීක්කුගේ ප්‍රසන්න ඩිල්ෂාන් මුණවීර සමගින් එක්ව වේගවත් පිතිහරඹයක නියැලෙන්නට විය. පන්දුවාර 5 එක් පන්දුවක් අවසාන වන විට ඌව නෙක්ස්ට් ලකුණු පුවරුව දිස්වූයේ එක් කඩුල්ලකට ලකුණු  63ක් වශයෙනි.

ඩිල්ෂාන් මුණවීර පන්දු 23කදී හතරේ පහර 2ක් හා හයේ පහර 5 සමගින් ලකුණු 44ක් රැස්කරද්දී සීක්කුගේ ප්‍රසන්න හයේ පහර 2ක් සමගින් පන්දු 5කදී ලකුණු 15ක් රැස්කිරීමට සමත් විය. එම මොහොතේ නැවත වරක් තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වූ නමුත් පන්දුවාර 5ක් ක්‍රියාත්මක කොට තිබූ නිසා ඩක්වත් ලුවිස් න්‍යාය අනුව හිමි ඉලක්කයට වඩා ලකුණු 19ක් ඉදිරියෙන් ඌව නෙක්ස්ට් කණ්ඩායම පසු විය.

වර්ෂාව හේතුවෙන් නැවත තරගය ආරම්භ කිරීමට නොහැකි වූ නිසාවෙන් අවසන් මහා තරගයේ ජයග්‍රහණය ලකුණු 19කින් හිමිකරගත් තිලිණ කණ්ඩම්බි ප්‍රමුඛ ඌව නෙක්ස්ට් කණ්ඩායම ප්‍රථම වරට පැවති ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ශූරතා කුසලානය දෝත දරන්නට සමත් විය.

අවසන් මහා තරගයේ වීරයා ලෙසින් දිල්ෂාන් මුණවීර හා තරගාවලියේ වීරයා ලෙසින් ශමින්ද එරංග සම්මානයට පාත්‍ර වද්දී තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට දිල්ෂාන් මුණවීරද  වැඩිම කඩුලු ලාභියා බවට නවසීලන්ත තුන් ඉරියව් ක්‍රීඩක ජෙකොබ් ඕරම් පත්විය.

උපුටා ගැනීම – Cree Da Sports Network[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top