ICC හා ESPN නම් කළ ලෝක කුසලාන කණ්ඩායමට දිල්ෂාන් මධුසංඛත්

නිමාවට පත් වූ එක්දින ලෝක කුසලාන තරගාවලියේ දැක්වූ දක්ෂතා පදනම් කරගනිමින් තරගාවලියේ කණ්ඩායම නම් කිරීමට ICCය සහ ESPNcricinfo වෙබ් අඩවිය කටයුතු කොට ඇත. ඒ අනුව තරගාවලියේ විශිෂ්ට දස්කම් පෑ ක්‍රීඩකයන් ඇතුළත් කරමින් නිර්මාණය කළ එම කණ්ඩායම් ද්විත්වයටම ශ්‍රී ලංකා යොවුන් වේගපන්දු යවන ක්‍රීඩක දිල්ෂාන් මධුසංඛ ඇතුළත් කොට ඇත. මෙම කණ්ඩායම් දෙකෙහිම එක් වෙනස්කමක් පමණක් ඇතුළත් වන අතර ICCය නම් කළ කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලෙස ක්වින්ටන් ඩි කොක්ට අවස්ථාව හිමි වද්දී ESPNcricinfo නම් කළ කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලෙසින් ට්‍රැවිස් හෙඩ් නම් කොට ඇත. ඩි කොක් තරගාවලියේ ලීග් අදියර තුළ දී ශතක හතරක් වාර්තා කළ අතර තරගාවලිය පුරාවට ලකුණු 594ක් රැස්කිරීමට සමත් විය. අවසන් තරගයේදී ඕස්ට්‍රේලියානු ජයග්‍රහණයේ පුරෝගාමියා වූ ට්‍රැවිස් හෙඩ් ආබාධයට ලක් ව සිට තරගාවලිය අතරමගදි කණ්ඩායම සමගින් එක් වූ අතර ඔහු ඉනීම් 6ක් තුළදී ලකුණු 329ක් රැස්කිරීමට සමත් විය.

මෙම කණ්ඩායම් දෙකෙහිම අනෙක් ආරම්භක පිතිකරු ලෙසින් ඉන්දීය නායක රෝහිත් ෂර්මා නම් කොට ඇත. ෂර්මා ඉනීම 11ක් තුළ ලකුණු 597ක් රැස්කළ අතර ඉන්දීය කණ්ඩායම අනුශූරතාවය කරා මෙහෙයවීය. අංක තුන පිතිකරු ලෙසින් සුපිරි පිතිකරු විරාට් කෝලි නම් කොට ඇති අතර ඔහු තරග 11 තුළ ලකුණු 765ක් රැස්කිරීමට සමත් වූයේ තරගාවලියේ වීරයා බවටද පත් වෙමිනි. එමෙන්ම එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම ශතක ලාභියා බවට පත් වන්නටද විරාට් කෝලි මෙවර සමත් වූයේ සචින් තෙන්ඩුල්කාර්ගේ වාර්තාව අභිබවා යමිනි. කණ්ඩායමේ අංක හතර පිතිකරණ භූමිකාවට පනපොවන්නට භාර වී ඇත්තේ නවසීලන්ත ක්‍රීඩක ඩැරල් මිචෙල් හටයි.ඉන්දියාවට එරෙහිව අවසන් පූර්ව තරගයේදී ඔහු විශිෂ්ට ඉනීමක් ක්‍රීඩා කළ අතර තරගාවලිය පුරාවට ලකුණු 552ක් රැස්කිරීමට සමත් වී ඇත.

කණ්ඩායමේ කඩුල්ල පිටුපස වගකීම ලෝකේෂ් රාහුල්ට පැවරී ඇති අතර ඔහු නිමා වූ ලෝක කුසලාන තරගාවලියේ දී ලකුණු 452ක් රැස්කිරීමට සමත් විය. කණ්ඩායමේ අංක හය ක්‍රීඩකයා ලෙසින් ඕස්ට්‍රේලියානු සුපිරි පිතිකරු ග්ලෙන් මැක්ස්වෙල් නම් කොට ඇත. ඔහු ඇෆ්ගනිස්ථානය සමගින් පැවති තරගයේ දී නොදැවී ද්විත්ව ශතකයක් වාර්තා කළේ එක්දින ක්‍රිකට් ඉතිහාසයේ විශිෂ්ටතම ඉනීමක් බවට එය පරිවර්තනය කරමිනි. එමෙන්ම නෙදර්ලන්තයට එරෙහිව වේගවත් ශතකයක් රැස්කිරීමට මැක්ස්වෙල් සමත් වූයේ එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ වේගවත්ම ශතකය සිය නාමය ඉදිරියේ ලියවාගනිමිනි. ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක රවීන්ද්‍ර ජඩේජා ද මෙම කණ්ඩායම් ද්විත්වයටම ඇතුළත් වද්දී ඔහු තරග තුළ ලකුණු 120ක් රැස්කළ අතර කඩුලු 16ක් ද දවාගැනීමට සමත් විය.

ඉන්දීය වේගපන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්රා කණ්ඩායමට නම් කෙරුණු වේගපන්දු යවන්නන් අතරට ඇතුළත්ය. ඔහු තරගාවලිය තුළදී කඩුලු 20ක් දවාගත් අතර අවසන් පන්දුවාර තුළ ඉතා විශිෂ්ට ලෙසින් පන්දු යවමින් 3.25ක ලකුණු වේගයක් රඳවාගෙන ඇත. තරගාවලිය තෙවන වැඩිම කඩුලු ලාභියා බවට පත් වූ ශ්‍රී ලංකා යොවුන් වේගපන්දු යවන ක්‍රීඩක දිල්ෂාන් මධුසංඛ ද මෙවර ලෝක කුසලාන කණ්ඩායමට ඇතුළත් වද්දී ඔහු තරගාවලිය පුරාවට කඩුලු 21ක් දවාගැනීමට සමත් විය.

තරගාවලියේ දෙවන වැඩිම කඩුලු ලාභියා බවට පත් වූ ඇඩම් සම්පාටද කණ්ඩායම් ද්විත්වයේම දොරටු විවර වද්දී ඔහු මෙවර කඩුලු 23ක් බිදහෙලීය. ඒ අනුව එක් ලෝක කුසලාන තරගාවලියක වැඩිම කඩුලු දවාගත් දගපන්දු යවන්නා වන මුත්තයියා මුරලිදරන් ගේ වාර්තාව සමකිරීමට සම්පාට හැකිවිය. මෙවර ලෝක කුසලාන කණ්ඩායමට ඉන්දීය වේගපන්දු යවන ක්‍රීඩක මොහොමඩ් ශාමි ඇතුළත් වන්නේ තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා බවට පත් වෙමිනි. ඔහු තරගාවලිය පුරාවට ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට සුවිසල් කාර්‍යභාරයක් ඉටු කළේ කඩුලු 24ක් දවාගනිමිනි.

ICC ලෝක කුසලාන කණ්ඩායම
ක්වින්ටන් ඩි කොක්
රොහිත් ෂර්මා
විරාට් කෝලි
ඩැරල් මිචෙල්
ලෝකේෂ් රාහුල්
ග්ලෙන් මැක්ස්වෙල්
රවීන්ද්‍ර ජඩේජා
ජස්ප්‍රිට් බුම්රා
දිල්ෂාන් මධුසංඛ
ඇඩම් සම්පා
මොහොමඩ් ශාමි

ESPNcricinfo ලෝක කුසලාන කණ්ඩායම
ට්‍රැවිස් හෙඩ්
රොහිත් ෂර්මා
විරාට් කෝලි
ඩැරල් මිචෙල්
ලෝකේෂ් රාහුල්
ග්ලෙන් මැක්ස්වෙල්
රවීන්ද්‍ර ජඩේජා
ජස්ප්‍රිට් බුම්රා
දිල්ෂාන් මධුසංඛ
ඇඩම් සම්පා
මොහොමඩ් ශාමි

Back To Top