සාෆ් පාපන්දු ශූරතා තරඟාවලිය යටතේ ශ්‍රී ලංකාව මුහුණ දුන් තුන්වෙනි තරඟය මීට සුළු මොහොතකට පෙර නිමාව දුටුවේ ගෝල 0-0 ක් ලෙසින් ජය පරාජයෙන් තොරව නිමාව දකිමින් ය. මෙය තරඟාවලිය තුළ ශ්‍රී ලංකාව විසින් ප්‍රසාද ලකුණු සටහනේ ලකුණු ලබාගත් පළමු අවස්ථාව ලෙසින් සටහන් වන අතර මීට ප්‍රථමව බංග්ලාදේශය සහ නේපාලය අතර පැවති තරඟ ශ්‍රී ලංකාව පිළිවෙලින් 1-0 ක් සහ 3-2 ක් ලෙසින් පරාජයට පත් විය.

කෙසේ වෙතත් පවතින තත්ත්වය යටතේ මෙම තරඟය ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීමට ලැබීම ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ලැබූ ධන ලකුණක් ලෙසින් හඳුන්වා දිය හැකිය. මන්දයත් ඉන්දියාව වර්තමාන ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් හි 107 වන ස්ථානයේ පසු වන අතරම ශ්‍රී ලංකාව පසු වන්නේ එහි 205 වන ස්ථානයේය. සාෆ් ශූරතා අවසන් මහා තරඟ බලාපොරොත්තු ශ්‍රී ලංකාවෙන් මේ වන විට ගිලිහී ගොස් තිබුණද මෙම තරඟ ප්‍රතිඵලය කෙරෙහි ශ්‍රී ලංකාවට සෑහීමකට පත්විය හැකිය.

තරඟය පුරාවටම ශ්‍රී ලංකා පසුපෙළ සහ නායක දැල් රකින ක්‍රීඩක සුජාන් පෙරේරාගේ ක්‍රීඩා රටාව ප්‍රසංශනීය මට්ටමක පැවතුණි. විශේෂයෙන්ම අත්දැකීම් බහුල මෙන්ම වර්තමානයේදී දකුණු ආසියානු කලාපයෙන් ඔබ්බට ලොවම ජනප්‍රිය පාපන්දු ක්‍රීඩකයෙක් වන සුනිල් චෙත්රි ඇතුළු ඉන්දීය ප්‍රහාරක බලඇණියට ක්‍රියාත්මක වීමට ඉඩ නොදෙමින් තරඟය ජය පරාජයෙන් තොර තත්ත්වයක් කරා රැගෙන යාම කෙරෙහි සියලුම ගෞරවයන් ශ්‍රී ලංකා පසුපෙළට සහ නායක සුජාන් පෙරේරා හට හිමි වේ. මෙම තරඟය ජය පරාජයෙන් තොර වීම නිසාවෙන්ම අවසන් මහා තරඟය දක්වා ගමන් කිරීමට ඉන්දීය කණ්ඩායමට අතිරේක වෙහෙසක් දැරීමටද සිදුවනු ඇත. ශ්‍රී ලංකාව තරඟාවලියේ මුහුණ දෙන අවසන් තරඟය සත්කාරක මාලදිවයින සමගින් පැවැත්වීමට නියමිතය.

Creeda Sports Network