ශ්‍රී ලංකාව 2021 සාෆ් කුසලාන පාපන්දු තරඟාවලියේ ආරම්භ වූ පළමු තරඟයේදීම බංග්ලාදේශය හමුවේ ගෝල 1-0 ක් ලෙසින් පරාජයට පත් විය. මාලදිවයිනේදී පැවැත්වෙන මෙවර සාෆ් කුසලාන තරඟාවලියේ සමාරම්භක තරඟය ලෙසින්ද මෙය සටහන් වී තිබුණි.

තරඟය ආරම්භයේ සිටම කණ්ඩායම් ද්විත්වයම ආරක්ෂාකාරී ක්‍රීඩා රටාවක් පෙන්නුම් කළ ආකාරය දක්නට ලැබුණු අතරම පළමු භාගය පුරාවටම කණ්ඩායම් ද්විත්වයටම ගෝල රැස් කිරීම සඳහා විශේෂ අවස්ථා නොලැබුණි. මේ නිසාවෙන්ම පළමු අර්ධය නිමාවට පත් වූයේ ගෝල 0-0 ක් ලෙසින් කණ්ඩායම් දෙකම සම මට්ටමේ තබමිනි.

දෙවන අර්ධය ආරම්භ වී ගතවන 11 වන මිනිත්තුවේදී බංග්ලාදේශයට දඬුවම් පහරක් ලැබුණේ ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක්ගේ අතේ දඬුවම් පහර සීමාව තුළ පන්දුව වැදීම හේතුකොටගෙනය. නමුත් එහි පුනරූපණයන් විමසද්දී එය දඬුවම් පහර කලාපය තුළද නොමැතිද යන්න පිළිබඳව යම්කිසි මතභේදයක්ද ඇතිවේ. කෙසේ වෙතත් ඉන් අනතුරුව එම දඬුවම් පහර සාර්ථක කරගත් ටෝපු බර්මාන් විසින් බංග්ලාදේශය ගෝල 1-0ක් ලෙසින් ඉදිරියට ගෙනා අතරම ඩක්සන් පුස්ලාස් හට රතු කාඩ්පත හිමි වීම නිසාවෙන් ශ්‍රී ලංකාව ක්‍රීඩකයන් 10 කට සීමා විය.

අනතුරුව 10 දෙනෙකුගෙන් යුක්ත ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශ සීමාව ආක්‍රමණය කිරීමට උත්සාහ කළත් එය සාර්ථක කර ගැනීමට හැකියාව නොලැබුණි. විශේෂයෙන්ම ඩිලොන් ද සිල්වා දෙවන අර්ධයේදී පිටියට පිවිස හොඳ ක්‍රීඩා රටාවක් පෙන්නුම් කළත් තරඟය සම කිරීමට බංග්ලාදේශ පසුපෙළ ශ්‍රී ලංකාවට අවස්ථාව ලබා නොදුන්නේ ගෝල 1-0 ක් ලෙසින් බංග්ලාදේශ ජය තහවුරු කරමිනි. ඒ අනුව තරඟාවලියේ අවසන් තරඟයට පිවිසීම සඳහා ශ්‍රී ලංකාවට ඉතිරි නේපාල, මාලදිවයින සහ ඉන්දියා යන තරඟ ත්‍රිත්වයම අතිශය වැදගත් වනු ඇති.

Creeda Sports Network