SSC, කෝල්ට්ස්, සෙබස්‍තීයනයිට්ස් හා බදුරලිය අවසන් පූර්ව වටයට

අන්තර් සමාජ එක්දින තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට සෙබස්‍තීයනයිට්ස් ක්‍රීඩා සමාජය, කෝල්ට්ස් ක්‍රීඩා සමාජය, SSC ක්‍රීඩා සමාජය හා බදුරලිය ක්‍රීඩා සමාජය සමත් වෙයි. නමුත් මෙවර අන්තර් සමාජ එක්දින තරගාවලියේ තරග රැසකට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් අතහැර දමන්නට ද සිදුවුණා.

A කාණ්ඩය යටතේ ක්‍රීඩා කළ සෙබස්‍තීයනයිට්ස් ක්‍රීඩා සමාජය තරග 10න් 6ක් ජයගෙන ප්‍රසාද ලකුණු 15ක්ද, කෝල්ට්ස් ක්‍රීඩා සමාජය තරග 10න් 6ක් ජයගෙන ප්‍රසාද ලකුණු 14ක්ද ලබාගෙන අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට සමත් විය. එම කාණ්ඩය යටතේම තරග වැදුනු මීගමුව ක්‍රීඩා සමාජය ද තරග 10න් 6ක් ජයග්‍රහණය කරමින් ප්‍රසාද ලකුණු 14ක් ලබාගත්තද ඔවුන්ගේ දල ලකුණු වේගය කෝල්ට්ස් ක්‍රීඩා සමාජයට වඩා අඩු අගයක් ගැනීම හේතුවෙන් ඔවුන්ට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට නොහැකි විය.

B කාණ්ඩය යටතේ තරග වැදුනු SSC ක්‍රීඩා සමාජය ක්‍රීඩා කළ තරග 10න් තරග 7ක්ම ජයග්‍රහණය කරමින් ප්‍රසාද ලකුණු 16ක්ද හිමිකරගෙන අවසන් පූර්ව වටයේ ස්ථානය කල්තියාම වෙන්කොට ගත්හ. ක්‍රීඩා කළ තරග 10න් 6ක් ජයග්‍රහණය කළ බදුරලිය ක්‍රීඩා සමාජය ප්‍රසාද ලකුණු 14ක් සමගින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය.

තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය සෙබස්‍තීයනයිට්ස් ක්‍රීඩා සමාජය හා බදුරලිය ක්‍රීඩා සමාජය අතරද දෙවන අවසන් පූර්ව තරගය කෝල්ට්ස් ක්‍රීඩා සමාජය හා SSC ක්‍රීඩා සමාජය අතර ද පැවැත්වෙයි. තරගාවලියේ අවසන් මහා තරගය එළඹෙන ජනවාරි මස 16වනදා කොළඹ SSC ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.