වයස අවුරුදු 19න් පහළ එක්දින ලෝක කුසලාන තරගාවලිය අද දිනයේදී ආරම්භ විය. තරගාවලියේ අද දිනයේදී පැවති තරග වලින් ජයග්‍රහණ වාර්තා කිරීමට අයර්ලන්තය හා දකුණු අප්‍රිකාව සමත් විය

තරගාවලියේ ආරම්භක තරගය වෙනුවෙන් අයර්ලන්තය සමගින් තරග වැදුනේ ඇමරිකා එක්සත් ජනපදයයි. අයර්ලන්ත කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ඇමරිකාව සියලු ක්‍රීඩකයන් දැවී රැස්කිරීමට සමත් වූයේ ලකුණු 105ක් පමණයි.එහිදී පිතිකරුවන් අටදෙනෙකුම ලකුණු 10ට අඩුවෙන් දවාගැනීමට අයර්ලන්ත පන්දු යවන්නන් සමත් වුණා. රූබන් විල්සන් හා ඔලිවර් රිලේ කඩුලු 3 බැගින් දවාගැනීමට සමත් වුණා.

පහසු ඉලක්කය හඹායාමට පිටියට පිවිසෙන අයර්ලන්තය පන්දුවාර 22 පන්දු 5කදී කඩුලු 3ක් දැවී තරගය ජයග්‍රහණය කිරීමට සමත් වුණා. එහිදී ආරම්භක පිතිකරු රයන් හන්ටර් ලකුණු 50ක් නොදැවී රැස්කිරීමට සමත් වුණා.

තරගාවලියේ දෙවන තරගය වෙනුවෙන් දකුණු අප්‍රිකාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම තරගබිමට අවතීර්ණ වුණා. කොදෙව්වන්ගේ ආරාධනයෙන් පිටියට පිවිසෙන දකුණු අප්‍රිකාව නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 285ක් රැස්කිරීමට සමත් වුණා. එහිදී ඩෙවාන් මාරිස් පන්දු 38කදී හතරේ හා හයේ පහර 4 බැගින් එල්ල කරමින් වේගවත් ලකුණු 65ක්ද නායක ජුවාන් ජේම්ස් ලකුණු 47ක්ද රැස්කිරීමට සමත් වුණා. කොදෙව් කණ්ඩායම වෙනුවෙන් නේතන් සීලි ලකුණු 34කට කඩුලු 3ක් දවාගැනීමට සමත් වුණා.

ඉලක්කය හඹායාමට පිටියට පිවිසෙන කොදෙව්වන්ට පන්දුවාර 40 එක්පන්දුවක් අවසානයේ සියලු දෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 254ක් පමණයි. කොදෙව් කණ්ඩායම වෙනුවෙන් සාර්ථක වූ එකම පිතිකරුවා බවට පත් වූ ජුවෙල් ඇන්ඩෘ පන්දු 96කදී හතරේ පහර 14ක් හා හයේ පහර 3ක් සමගින් ලකුණු 130ක් රැස්කළේ තරගාවලියේ පළමු ශතකය වාර්තා කරමිනි. දකුණු අප්‍රිකාව වෙනුවෙන් පන්දුවෙන් දස්කම් පෑ ක්වේනා මපාකා ලකුණු 38ට කඩුලු 5ක්ද රිලේ නෝට්න් ලකුණු 66ට කඩුලු 3ක් ද බිදහෙලන්නට සමත් වුණා. ඒ අනුව මෙම තරගයෙන් දකුණු අප්‍රිකාවට ලකුණු 31ක ජයක් හිමිවුණා.