ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ එක්දින තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය අද දිනයේදී ක්‍රියාත්මක වුණා. මෙම තරඟය වෙනුවෙන් කෝල්ට්ස් ක්‍රීඩා සමාජය සහ SSC ක්‍රීඩා සමාජය තරඟ බිමට අවතීර්ණ වූයේ කොළඹ NCC ක්‍රීඩාංගණයේදීය.

SSC නායක නිපුන් ධනංජය අද තරඟයට ක්‍රීඩා නොකළ හෙයින් අවිශ්ක ප්‍රනාන්දුගේ නායකත්වය යටතේ SSC කණ්ඩායම තරඟ වැදුණි. කාසිය වාසිය දිනූ අවිශ්ක ප්‍රනාන්දු ප්‍රනාන්දු ප්‍රථමයෙන් පන්දු රැකීම තෝරා ගත්තේය. ඒ ආරාධනයෙන් පිටට පිවිසෙන කෝල්ට්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර පනහ අවසානයේ කඩුලු අටක් දැවී රැස්කිරීමට හැකි වූයේ ලකුණු 236ක් පමණි. එහිදී ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ හෂාන් දුමිඳු පන්දු අනූහයකදී හතරේ පහර තුනක් හා හයේ පහරක් සමඟින් ලකුණු 63ක් රැස් කළේය. පන්දු යැවීමේදී නිවනිදු, ප්‍රභාත් හා චමිදු කඩුලු 2 බැගින් දවාගත්හ.

ඉලක්කය හඹා යාම වෙනුවෙන් පිටියට පිවිසෙන SSC කණ්ඩායම් නායක අවිෂ්ක ප්‍රනාන්දු සහ කඩුලු රකින ක්‍රීඩක ක්‍රිෂාන් සංජුල අගනා ලකුණු 150ක සබඳතාවයක් ගොඩනඟමින් සිය කණ්ඩායම ජයග්‍රාහී මාවත කරා අවතීර්ණ කරන්නට විය. එහිදී ක්‍රිෂාන් සංජුල පන්දු අසූවකදී හතරේ පහර තුනක් සහ හයේ පහරක් සමගින් ලකුණු 58 රැස් කළේය. තරග අවසානය වන තෙක් සාර්ථක අන්දමින් පන්දුවට පහර දුන් අවිශ්ක ප්‍රනාන්දු පන්දු 138කදී හතරේ පහර 15ක් හා එක් හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 125ක් රැස් කළේය. නොදැවී පන්දුවට පහර දුන් රණුද සෝමරත්න ලකුණු 32ක් රැස්කළ අතර හයේ පහරක් එල්ල කරමින් තරඟය ජයග්‍රාහී ලෙස අවසන් කළේය. ඒ අනුව අන්තර් සමාජ එකදින තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ප්‍රභල SSC ක්‍රීඩා අද දිනයේදී සමත් විය. අවසන් මහා තරගය අනිද්දා දිනයේදී SSC කණ්ඩායම හා සෙබස්‍තීයනයිට්ස් කණ්ඩායම අතර පැවැත්වෙයි.