13වැනි ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය තව තවත් අද දිනයේදී ආරම්භ වීමට සියළු කටයුතු සූදානම්ය. ක්‍රිකට් ලෝක කුසලාන උණුහුම දිනෙන් දිනම වැඩි වෙද්දී ලෝක කුසලාන තරගාවලි ඉතිහාසගත වගතුග පිළිබඳව තැබූ සටහනකි මේ.

එක්දින ජාත්‍යන්තර තරගවල ආරම්භය 20 වන සියවසේ අග භාගයේ දී සිදුවුණි. ඒ අනුව 1971 වසරේ ජනවාරි මස 05වන දින ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර මෙල්බන් ක්‍රීඩාංගනයේදී පැවැත් වූ ලොව පළමු එක්දින තරගයෙන් අනතුරුව පළමු එක්දින ලෝක කුසලාන තරගාවලිය වර්ෂ 1975 දී ක්‍රිකට් උපන් දේශය වන එංගලන්තයේ දී පැවැත්විණි. මෙම තරගාවලිය Prudential කුසලානය නමින් නිළ වශයෙන් හැඳින්විය. එයට හේතුව වූයේ Prudential නම් අනුග්‍රාහකයෙකු මේ සඳහා අනුග්‍රහය දැක්වීමයි. ටෙස්ට් වරම් ලද රටවල් 6ක්, ශ්‍රී ලංකාව සහ නැගෙනහිර අප්‍රිකාව ඇතුළත්ව රටවල් 08ක් මෙම තරගාවලියට සහභාගී වූහ. මෙම තරගාවලියේ තරගයන්හි එක් ඉනිමකට පන්දු 6කින් යුත් පන්දුවාර 60ක් හිමි වූ අතර ක්‍රීඩකයින් අඳිනු ලැබුවේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ දී අඳිනු ලබන සුදු පැහැති ඇඳුමයි. එසේම මොවුන් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ දී භාවිතා කරනු ලබන රතු පන්දුවම යොදා ගැනීමත් මෙම තරගාවලියේ විශේෂත්වයකි.

කෙසේ නමුත් මෙම තරගාවලියේ අවසන් මහා තරගය සඳහා ඕස්ට්‍රේලියාව සහ බටහිර ඉන්දීය කොදෙව් යන කණ්ඩායම් දෙක සුදුසුකම් ලැබූ අතර එම තරගය පැවැත්වුණේ ඓතිහාසික ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ දීය. එම තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දුන් කොදෙව් කණ්ඩායමේ නායක Clive Lioyd පන්දු 85කට මුහුණ දෙමින් ලකුණු 102ක් රැස් කරමින් කොදෙව් ඉනිම ශක්තිමත් කළේය. ඒ අනුව කොදෙව් කණ්ඩායම තම ඉනිම අවසන් කළේ නියමිත පන්දුවාර 60 අවසානයේ දී කඩුළු 8ක් දැවී ලකුණු 291ක් රැස් කර ගනිමිනි. නමුත් Ian Chappel විසින් මෙහෙයවනු ලැබූ ඕස්ට්‍ර්ලියානු කණ්ඩායම පන්දුවාර 58යි පන්දු පන්දු 4ක් තුළ සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 274ක් පමණි. ඒ අනුව පළමු එක්දින ලෝක කුසලානයේ ජය කොදෙව්වන්ට හිමි වුණි.

ඉන් අනතුරුව වර්ෂ 1979 දී පැවැත්වූ දෙවන එක්දින ලෝක කුසලාන තරගාවලියේ ද සත්කාරකත්වය දරනු ලැබුවේ එංගලන්තය විසිනි. මෙම තරගාවලියේ දී දෙවන වරටත් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වන අතර ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූයේ සත්කාරක එංගලන්ත කණ්ඩායමයි. මෙම තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දුන් කොදෙව්වන් නියමිත පන්දුවාර 60 තුළ කඩුළු 9ක් දැවී ලකුණු 286ක් රැස් කර ගැනීමට සමත් වූහ. ඒ අනුව ලකුණු 287ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය එංගලන්ත කණ්ඩායමට පන්දුවාර 51ක් තුළ සියළු දෙනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 194ක් පමණකි. ඒ අනුව දෙවන එක්දින ලෝක කුසලානයද තමන් සතු කර ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයින්ට හැකි විය.

වර්ෂ 1983දී තුන්වන ලෝක කුසලාන තරගාවලිය පැවැත්වූයේ ද එංගලන්තයේ දීමය. යාර 30 පන්දු රැකීමේ නීතිය මුල් වරට මෙම තරගාවලියේ දී හඳුන්වා දෙනු ලැබූ අතර මෙම තරගාවලිය සඳහා සත්කාරක එංගලන්තය, ඕස්ට්‍රේලියාව, ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය, නවසීලන්තය, බටහිර ඉන්දීය කොදෙව් සහ සිම්බාම්බ්වේ යන කණ්ඩායම් අට සහභාගී වූහ. දෙවරක් පිට පිටම ලෝක ශූරයින් වූ බටහිර ඉන්දීය කොදෙව්වන් මෙම තරගාවලියේද අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ අතර එහිදී ඔවුන්ගේ ප්‍රතිමල්ලවයන් බවට පත් වූයේ ඉන්දීයාවයි. ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් කපිල් දේව්ගේ නායකත්වයෙන් යුත් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 54යි පන්දු 4ක් තුළ සියලු දෙනා දැවී ලකුණු 183ක් රැස් කළේය. එවකට ප්‍රබල ඉන්දීය පන්දු බලඇණිය හමුවේ අසරණ වූ කොදෙව් පිතිකරුවන්ට පන්දුවාර 52ක් තුළ සියළුදෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 140ක් පමණි. මේ අනුව පළමු වරට ඉන්දියාවට ලෝක කුසලානයක ජය උරුම කරදෙමින් තෙවන ලෝක කුසලාන තරගාවලිය නිමා විය.

1987 වසරේ දී සිව්වන ලෝක කුසලාන තරගාවලිය එංගලන්තයෙන් පිටතට ගෙන එමින් ඉන්දියාව සහ පාකිස්තානය ප්‍රමුඛ කර ගනිමින් පැවැත්වුණි. එසේම මෙම තරගාවලියේ දී එක් ඉනිමක පන්දුවාර සංඛ්‍යාව පන්දුවාර 50කට සීමා කිරීමද විශේෂත්වයකි. කෙසේ හෝ මෙහි අවසන් මහා තරගයට ඕස්ට්‍ර්ලියාව සහ එංගලන්තය සුදුසුකම් ලැබූ අතර එහිදී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ දී කඩුළු 5ක් දැවී ලකුණු 253ක් රැස් කළේය. පිළිතුරු ඉනිම ක්‍රියාත්මක කළ එංගලන්ත කණ්ඩායම ලකුණු 246ක් රැස් කළ අතර ඔවුන්ට ජයග්‍රහණය පෙනෙන මානයේ දී පරාජය වැළද ගැනීමට සිදුවිය. මෙය එදා මෙද තුර ලෝක කුසලාන අවසන් මහා තරගයකදී අඩුම ලකුණු (ලකුණු7ක) පරතරයකින් නිම වූ තරගය ලෙස වාර්තා වේ.ඒ අනුව සිව්වන ලෝක කුසලාන තරගාවලිය නිමා වුණේ ඕස්ට්‍රේලියාව ලෝක ශූරයින් කරවමිනි.

1992දී ඕස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ සත්කාරකත්වයෙන් පැවති පස්වන එක්දින ලෝක කුසලාන තරගාවලියේ ආරම්භයේ දී නව හඳුන්වා දීම් රැසක් ක්‍රිකට් ක්‍රීඩාවට එක් වුණි. ඒ අනුව දිවා රාත්‍රී තරග, රතු පන්දුව වෙනුවට එක්දින තරග සඳහා සුදු පැහැහි පන්දුව යොදා ගැනීම මෙන්ම එක් එක් කණ්ඩායම සඳහා ආවේණික වූ වර්ණයන්ගෙන් යුත් ඇඳුම් ද මෙහිදී හඳුන්වා දෙනු ලැබීය. මෙම තරගාවලිය සඳහා සිව්වන ලෝක කුසලානයට සහභාගී වූ රටවල් සමඟ ජාතිවාදී ප්‍රශ්න හේතුවෙන් මෙතෙක් කලක් ක්‍රිකට් තහනමට ලක්ව සිටි දකුණු අප්‍රිකාව ද තම ප්‍රථම ලෝක කුසලාන තරගාවලිය සඳහා එක් විය. කෙසේ නමුත් මෙම තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලැබූයේ එංගලන්ත කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායමයි. එහිදී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් පාකිස්තාන කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 249ක් රැස් කළේය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 227ක් පමණි. ඒ අනුව ඉම්රාන් ඛාන්ගේ නායකත්වයෙන් යුත් පාකිස්තාන කණ්ඩායමට 1992 ජගත් ක්‍රිකට් කිරුළ හිමි විය.

Source – ESPNCricinfo

6වන ජාත්‍යන්තර ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය පවත්වනු ලබන්නේ 1996 වර්ෂයේ දී ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ පාකිස්තානය යන රටවල සත්කාරකත්වයෙනි. Will’s කුසලානය ලෙස හැඳින්වූ මෙම තරගාවලිය සඳහා පස්වන ලෝක කුසලානයට සහභාගී වූ රටවලට අමතරව කෙන්යාව, නෙදර්ලන්තය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය ප්‍රථම වරට සහභාගී වූහ. මෙම තරගාවලියේ පෙරළිකාර කණ්ඩායම බවට පත්වන ශ්‍රී ලංකාව අවසන් මහා තරගයට සුදුසුකම් ලබන අතර ඔවුන්ගේ ප්‍රතිවාදීන් වන්නේ ඕස්ට්‍රේලියාවයි. මෙම තරගයේ දී පළමුව පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 241ක් රැස් කළේය. පිළිතුරු ඉනිම ආරම්භ කරමින් පිටියට පිවිසි සනත් ජයසූරියට සහ රොමේෂ් කළුවිතාරණට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට නොහැකි වුවද තෙවන කඩුල්ල සඳහා පිටියේ එක්වුණු උපනායක අරවින්ද ද සිල්වා සහ අසංක ගුරුසිංහ ශ්‍රී ලංකාවට ජය මාවත විවර කරන්නට සමත් වූහ. තරගයේ වීරයා බවට පත් වූ අරවින්ද ද සිල්වා නොදැවී ලකුණු 107ක් රැස් කළ අතර නායක අර්ජුන රණතුංග අවසානයේ දී එල්ල කළ පහරින් පන්දුව හතරේ සීමාව සොයා ගන්නවාත් සමඟින් ඕස්ට්‍ර්ලියානුවන්ගේ ලෝක කුසලාන සිහිනය බොඳ විය. ඒ අනුව 1996 ලෝක කුසලාන තරගාවලිය නිම වූයේ ශ්‍රී ලංකාව ප්‍රථම වරට ලෝක ක්‍රිකට් ශූරයින් බවට පත් කරවමිනි.

Source – ESPNCricinfo

1999 වසරේ දී හත්වන ලෝක කුසලානය පැවැත්වූයේ එංගලන්තය සහ වේල්සය, අයර්ලන්තය සහ ස්කොට්ලන්තය යන රටවල සත්කාරකත්වයෙනි. ඒ සඳහා ශ්‍රී ලංකාව, ඉන්දියාව, ඕස්ට්‍ර්ලියාව, එංගලන්තය, පාකිස්තානය, දකුණු අප්‍රිකාව, සිම්බාම්බ්වේ, බටහිර ඉන්දීය කොදෙව්, කෙන්යාව,නවසීලන්තය, ස්කොට්ලන්තය සහ බංගලාදේශය 1999 ජගත් ක්‍රිකට් ලෝක කුසලානය වෙනුවන් තරග වැදුණි. මෙම තරගාවලියේද අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලැබූයේ ඔස්ට්‍රේලියාව සහ පාකිස්තානයයි. ඓතිහාසික ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ දී පැවති එම තරගයේ දී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් පාකිස්තානයට සියලුදෙනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 132ක් පමණි. ලකුණු 133ක පහසු ඉලක්කයක් හඹා ගිය ඕස්ට්‍රේලියානු පිතිකරුවන් පන්දුවාර 20යි එක් පන්දුවක් තුළ කඩුලු 2ක් පමණක් දැවී තිබියදී එම ඉලක්කය සපුරා ගැනීමට සමත් වූහ. ඒ අනුව දෙවන වරටත් ජගත් ලෝක කුසලානයක පහස විඳගැනීමට ඕස්ට්‍රේලියාව සමත් විය.

වර්ෂ 2003දී අටවන ලෝක කුසලාන එක්දින තරගාවලිය පවත්වනු ලැබීයේ දකුණු අප්‍රිකාව, කෙන්යාව සහ සිම්බාම්බ්වේ යන රටවල සත්කාරකත්වයෙනි. එතෙක් සහභාගී වූ වැඩිම කණ්ඩායම් ගණනක සහභාගීත්වයෙන් පැවති මෙම තරගාවලිය සඳහා කණ්ඩායම් 14ක් සහභාගී වූ අතර ඔවුන් අතර තරග 54ක් පැවැත්විණි. ඒ අතරින් අවසන් මහා තරගය සඳහා ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව තරග බිමට පිවිසි අතර එහිදී පළමුව පහර දුන් ඕස්ට්‍රේලියාව කඩුලු2ක් දැවී ලකුණු 359ක් රැස් කිරීමට සමත් විය. එහිදී ඕස්ට්‍රේලියානු නායක රිකී පොන්ටිං පන්දු 121කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 140ක් රැස් කළේය. නමුත් පිළිතුරු ඉනිම ක්‍රියාත්මක කළ ඉන්දියාවට පන්දුවාර 39යි පන්දු 2ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 234ක් පමණි. ඒ අනුව තරගය ජයගත් ඕස්ට්‍රේලියාව ලෝක කුසලාන 3ක් ජයග්‍රහණය කළ පළමු රට බවට පත් විය.

ඉන් වසර 4කට පසු බටහිර ඉන්දීය කොදෙව් දූපත් හි සත්කාරකත්වය යටතේ 2007දී පැවති නවවන එක්දින ලෝක කුසලාන තරගාවලිය සඳහා රටවල් 16ක් සහභාගී වූහ. මෙම තරගාවලියේද සුපිරි දස්කම් දැක්වූ ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියාව සමඟින් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලැබීය. වර්ෂාවෙන් එල්ල වූ බාධාව හේතුවෙන් ප්‍රමාද වී ආරම්භ වූ තරගයේ එක් ඉනිමක් පන්දුවාර 38කට සීමා විය. එහිදී පළමුවෙන් පන්දුවට පහර දෙන ඕස්ට්‍රේලියාව කඩුලු 4ක් දැවී ලකුණු 281ක දැවැන්ත ලකුණු පුවරුවක් ගොඩනගන අතර ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩක ඇඩම් ගිල්ක්‍රිස්ට් පන්දු පන්දු 104කදී ලකුණු 149ක් රැස් කිරීමට සමත් වූයේය.

Source – ESPNCricinfo

ශ්‍රී ලංකාවේ පිළිතුරු ඉනිම අතරතුර දී නැවතත් වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර ඒ හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 36ක් තුළ ලකුණු 269ක ඉලක්කයක් හිමිවිය. නමුත් එම පන්දුවාර ගණන තුළ ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු 8ක් දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 215ක් පමණි. ඒ අනුව ඩක්වත් සහ ලුවින් න්‍යායට අනුව මෙම තරගය ජයගත් කැන්ගරු දේශය සිව්වන වරටත් ජගත් එක්දින ලෝක කුසලානයක පහස විඳගත්තේය.

වර්ෂ 2011දී දසවන ලෝක කුසලාන එක්දින තරගාවලිය පවත්වනු ලබන්නේ ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ බංගලාදේශයේ සත්කාරකත්වයෙනි. මෙම තරගාවලියේ අවසන් මහා තරගය සඳහා ක්‍රීඩා කිරීමට සුදුසුකම් ලබා ගත්තේ ද සත්කාරකත්වය දරණ ඉන්දියාව සහ ශ්‍රී ලංකාවයි. එහිදී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම
නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 274ක් රැස් කිරීමට සමත් විය. අගනා ඉනිමක් ක්‍රීඩා කළ මහේල ජයවර්ධන පන්දු 88කට මුහුණ දෙමින් නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 103කි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායමේ ආරම්භක පිතිකරු යුගලය වැඩි වේලාවක් යන්නට මත්තෙන් නැවත ක්‍රීඩාගාරයට හරවා යැවීමට ලසිත් මාලිංග සමත් වුවද ඉන්දීය නායක මහේන්ද්‍ර සිං දෝණි සමඟ එක් වූ ගෞතම් ගාම්භීර් ඉන්දීය ඉනිම සෙමින් ගොඩ නැගීය. ඒ අනුව පන්දුවාර 48යි පන්දු 2ක් තුළදී තම ඉලක්කය සපුරා ගත් ඉන්දීය පිතිකරුවෝ දසවන ලෝක කුසලානය ශ්‍රී ලංකාවෙන් උදුරා ගත්තේ තම මව්රට තුළදී ලෝක කුසලානයක් ජයගත් පළමු ජාතිය බවට පත් වෙමිනි.

ඉන්පසු ඕස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ සත්කරකත්වයේන් වර්ෂ 2015දී 11වන ලෝක කුසලාන තරගාවලිය පැවැත්විණි. මෙම තරගාවලියේ දී ඇෆ්ගනිස්තානයට පළමු වරට ලෝක කුසලාන තරගාවලියකට ක්‍රීඩා කිරීමට අවස්ථාව උදා විය. කෙසේ හෝ මෙම තරගාවලියේ අවසන් මහා තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමි වන්නේ ඕස්ට්‍රේලියාවට සහ නවසීලන්තයටයි. එහිදී පළමුව පන්දුවට පහර දුන් නවසීලන්තයට පන්දුවාර 45ක් තුළ සියලු දෙනා දැවී රැස්කර ගැනීමට හැකි වන්නේ ලකුණු 183ක් පමණි. ඉතා පහසු ඉලක්කයක් හඹා ගිය ඕස්ට්‍රේලියානුවන් කඩුලු 3ක් පමණක් දැවී තිබියදී සිය ඉලක්කය සපුරා ගනිමින් පස්වන වරටත් ලෝක ක්‍රිකට් ශූරයින් බවට පත් විය.

12වන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය 2019 වසරේ දී එංගලන්තය සහ වේල්සය මූලික කර ගනිමින් පැවැත්විණි. කෙසේ හෝ මෙම තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබන්නේ එවකට ලෝක ක්‍රිකට් අනුශූරයින් වූ නවසීලන්තය සහ එංගලන්තයයි. මෙහිදී පළමුව පන්දුවට පහර දුන් නවසීලන්තය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 241ක් රැස් කළේය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තයද නියමිත පන්දුවාර 50 අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 241ක් ලබා ගත්තේය. ඒ අනුව තරගයේ ජයග්‍රාහකයින් තීරණය කිරීම සඳහා පළමු වරට ලෝක කුසලාන අවසන් මහා තරගයක සුපිරි පන්දුවාරයක් පැවැත්වුණි. නමුත් එහිදී ලබා ගන්නා ලකුණු සංඛ්‍යාවද සම වන බැවින් හයේ සහ හතරේ පහරවල් සංඛ්‍යාව අනුව ජයග්‍රාහකයින් නම් කිරීම සිදු කරනු ලැබීය. එම නීතිය අනුව එංගලන්තය වත්මන් ලෝක ශූරයින් ලෙසින් කිරුළු පැළඳීය.