ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන කාන්තා නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ තවත් තරග දෙකක් අද දිනයේදී පැවැත්වුණා. එම තරංගවලින් ජයග්‍රහණ වර්තා කිරීමට කොළඹ කණ්ඩායමද සහ දඹුල්ල කණ්ඩායම සමත් වුණා.

මහනුවර කණ්ඩායම සහ දමුල්ල කණ්ඩායම අතර තරගයේ පැවැත්වුණේ කොළඹ කෝල්ට්ස් ක්‍රීඩාංගනයේදී. කාසිය වාසිය දිනූ දඹුල්ල කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළා. ඒ අනුව පිටියට පිවිසෙන මහනුවර ක්‍රීඩිකාවන් නියමිත පන්දුවාර පනහ අවසානයේ කඩුලු හතක් දැවී ලකුණු 237ක් රැස්කිරීමට සමත් වුණා. එහිදී හංසමා කරුණාරත්න පන්දු අසූ දෙකකදි හතරේ පහර දහතුනක් හා එක් හයේ පහරක් සමගින් ලකුණු 74 ක් රැස් කළා. නායිකා කවිෂා දිල්හාරි පන්දු 69කදී ලකුණු 62ක් රැස්කිරීමට සමත් වුණා. ඉලක්කය හඹායාමට පිටියට පිවිසෙන දඹුල්ල ක්‍රීඩිකාවන් පන්දුවාර 47 පන්දු 5ක් අවසානයේ කඩුලු 5ක් පමණක් දැවී තරගය ජයග්‍රහණය කිරීමට සමත් වුණා. එහිදී සදලි වීරසිංහ ලකුණු 62ක්, ඉමල්කා මෙන්ඩිස් ලකුණු 61ක් හා නායිකා හර්ෂිතා සමරවික්‍රම නොදැවී ලකුණු 46ක් රැස්කිරීමට සමත් වුණා.

අද දිනයේ පැවති අනෙක් තරඟය වෙනුවෙන් එක්වූයේ ගාල්ල කණ්ඩායම සහ කොළඹ කණ්ඩායමයි. කොළඹ පීසරා ඕවල් ක්‍රීඩාංගනය පැවැති මෙම තරගයේ කාසිය වාසිය දිනූ ගාල්ල ක්‍රීඩිකාවන් පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා. නමුත් ඔවුන්ට පන්දුවාර 39කදී සියලු ක්‍රීඩකාවන් දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 132 පමණයි. එහිදී පන්දුවෙන් දස්කම් පෑ තරුෂි තත්සරණී ලකුණු 34 ට කඩුලු හතරක්ද තාරිකා සෙව්වන්දි ලකුණු 35ට කඩුලු 3ක්ද සචිනි නිසංසලා ලකුණු 17 ට කඩුලු දෙකක්ද දවාගැනීමට සමත් වුණා. ඉලක්කය හඹා ගිය කොළඹ ක්‍රීඩිකාවන් පන්දුවාර විසි නමයයි පන්දු පහක් අවසානයේ කඩුලු දෙකක් පමණක් දැවී තරංග ජයග්‍රහණය කිරීමට සමත් වුණා. එහිදී නෙත්මි පූර්ණි පන්දු හැත්තෑ අටකදී ලකුණු 55ක්ද ප්‍රසාදනී වීරක්කොඩි ලකුණු 34ක්ද රැස්කළා.