එළඹෙන දෙසැම්බර් මස පළමුවනදා ආරම්භ වීමට නියමිත අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලිය වෙනුවෙන් හැව්ලොක් ක්‍රීඩා සමාජය සුවිශේෂී පාසල් ක්‍රීඩකයින් දෙදෙනෙකු සිය කණ්ඩායමට එක් කොටගෙන ඇත. ඒ අනුව සුදේශ් ජයවික්‍රම සහ ජයතු රාජරත්න මෙවර තරගවාරය වෙනුවෙන් හැව්ලොක් ක්‍රීඩා සමාජය නියෝජනය කිරීමට සූදානමින් පසුවෙයි.

ශාන්ත පීතර විදුහල් රග්බි කණ්ඩායමේ හිටපු නායකයකු වන සුදේශ් ජයවික්‍රම පසුගියදා නිමාවූ ඩයලොග් අන්තර් පාසල් රග්බි තරගාවලියේ කැපී පෙනෙන දස්කම් පාන්නට සමත් විය. ඔහු පිළුමලුන් පිටුදැකීමේ අවසන් මහා තරගයේදී, තරගයේ වීරයා ලෙසින් ද සම්මානයට පාත්‍ර විය. කොළඹ ඩී එස් සේනානායක විද්‍යාලයීය හිටපු නායක ජයතු රාජරත්න ද පසුගිය පාසල් රග්බි සමයේදී වින්ගර් ක්‍රීඩකයකු ලෙස සුවිශේෂී දස්කම් ප්‍රදර්ශනය කළේය. හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩක සාලිය කුමාර මෙවර තරගවාරයේදී හැව්ලොක් කණ්ඩායමේ පුහුණුකරු ලෙසින් කටයුතු කරයි.