ඩයලොග් අන්තර් පාසල් පිළුමලුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය අද පස්වරුවේ හැව්ලොක් පාක් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. ඊයේ දිනයේ පැවති පළමු අවසන් පූර්ව තරගයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීමට ඉසිපතන විද්‍යාලයේ රග්බි කණ්ඩායම සමත් වූයේ අවසන් මහා තරගයේ සිය ස්ථානය තහවුරු කර ගනිමිනි. දෙවන අවසන් පූර්ව තරඟය වෙනුවෙන් අද දිනයේ තරග බිමට පිවිසියේ මෙවර පාසල් ලීග් ශූරයින් වූ ශාන්ත පීතර විද්‍යාලය හා ශාන්ත ජෝසප් විද්‍යාලයයි.

ගරු Fr.බැසිල් වීරතුංග අනුස්මරණ පළිහ ශූරතාවය වෙනුවෙන් කණ්ඩායම් දෙකම අද දිනයේදී තරග බිමට අවතීර්ණ විය. තරගයේ පළමු අර්ධය තුළ දී සිය අණසක පැතිර වූ ශාන්ත ජෝෂප් විද්‍යාලයීය ක්‍රීඩකයන් උත්සාහක දිනුමක් හා දඩුවම් පහරක් සාර්ථක කරගනිමින් ලකුණු අටක් රැස්කිරීමට සමත්විය. නමුත් එම අර්ධය තුළ දී ශාන්ත පීතර ක්‍රීඩකයන්ට කිසිදු ලකුණක් ලබා ගැනීමට අවකාශය හිමි නොවීය. ඒ අනුව පළමු අර්ධය නිමාවට පත් වූයේ ලකුණු 8-0 ලෙසින් සාන්ත ජෝසප් ක්‍රීඩකයන්ට තරඟය පෙරමුණ හිමිකර දෙමිනි.

නමුත් දෙවන අර්ධය තුළ දී තරගයට අවතීර්ණ වන ශාන්ත පීතර ක්‍රීඩකයන් ලකුණු රැස්කිරීම ආරම්භ කළහ. ඒ අනුව ඔවුන් එම අර්ධයේදී ලකුණු 16ක් රැස්කිරීමට වගබලාගත්හ. ශාන්ත ජෝසප් ක්‍රීඩකයන්ට එම අර්ධය තුළ දී සාර්ථක කරගැනීමට හැකිවූයේ දඬුවම් පහරක් පමණි. ඒ අනුව තියුණු මුහුණුවරක් ගත් මෙම තරගයේ නියමිත කාලය අවසන් වන විට ලකුණු 16 ට 11ක් ලෙසින් ජයග්‍රහණය හිමි වූයේ ශාන්ත පීතර විද්‍යාලයටයි. මෙම ජයග්‍රහණයත් සමඟින් ඩයලොග් අන්තර් පාසල් පිළුමලුන් පිටුදැකීමේ රග්බි තරඟාවලියේ අවසන් මහා තරගයේ සිය ස්ථානය තහවුරු කර ගැනීමට සාන්ත පීතර විද්‍යාලීය රග්බි කණ්ඩායම සමත් විය. ඒ අනුව ඔවුන් ඉසිපතන විද්‍යාලයට එරෙහිව අවසන් මහා තරගයේ දී තරග බිමට පිවිසෙනු ඇත. පාසල් රග්බි පිටිය තුළ මෙම වසරේදී සාන්ත පීතර ඉසිපතන අවසන් මහා තරගයක් දැකගන්නට තෙවන වරටත් අවස්ථාව උදා වනු ඇත.