ශ්‍රී ලංකා හිටපු දගපන්දු යවන ක්‍රීඩක රංගන හේරත් බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය ගෙන ආ නව යෝජනාව ප්‍රතික්ෂේප කොට ඇත. බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය විසින් රංගන හේරත් එරට දගපන්දු උපදේශක ලෙසින් පත් කිරීමේ යෝජනාවක් ගෙන ආ අතර රංගන හේරත් එම යෝජනාව ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් එම ධූරය පුරප්පාඩු වී ඇත.

බංග්ලාදේශ ක්‍රීඩකයන් මේ දිනවල BPL තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩා කරන අතර ඔවුන් එළඹෙන මස ශ්‍රී ලංකාවට එරෙහිව පූර්ණ තරගාවලියක් ක්‍රීඩා කිරීමට නියමිත පසුබිමක දගපන්දු පුහුණුකරු ධූරය පුරප්පාඩු වී ඇත.

බංග්ලාදේශ ක්‍රිකට් මෙහෙයුම් ප්‍රධානී ජලාල් යූනුස් මේ බව තහවුරු කොට ඇති අතර ඔහු සදහන් කොට ඇත්තේ ඔවුන් රංගන හේරත්ට කළ යෝජනාව පිළිනොගත් බැවින් තවදුරටත් හේරත් බංග්ලාදේශ කණ්ඩායම සමගින් කටයුතු නොකරනු ඇති බවයි.

යූනුස් වැඩි දුරටත් සදහන් කොට ඇත්තේ ඔවුන් මේ වන විටත් පුහුණුකරුවන් ලැයිස්තු ගත කොට ඇති බවයි. බංග්ලාදේශ ජාතික කණ්ඩායමේ පිතිකරණ,වේගපන්දු යැවීම, දත්ත සමීක්ෂක ඇතුලු තනතුරු කිහිපයක් වෙනුවෙන් පසුගිය දිනවලදී අයදුම්පත් කැදවා තිබුණි.