ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් අතර පැවති 2021 විස්සයි විස්ස ලෝක කුසලානයේ මූලික වටයේ තරඟය අවසන් වූයේ ශ්‍රී ලංකාව හට ලකුණු 20 ක ජයග්‍රහණයක් අත්කර දෙමිනුයි. මෙය ශ්‍රී ලංකාව මෙවර ලෝක කුසලාන තරඟාවලියේ සහභාගී වූ අවසන් තරඟයද වූ අතරම අවසන් පූර්ව වටයට පිවිසීමට නොහැකි වුවත් ජයග්‍රාහී ලෙසින් තරඟාවලිය අවසන් කිරීමට ශ්‍රී ලංකාවට හැකි වුණා.

මෙම තරඟ පරාජයත් සමගි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ලෝක කුසලාන ගමනද නිමා වුණා. තරඟයෙන් අනතුරුව තරඟයේ වීරයා චරිත් අසලංක, ජයග්‍රාහී නායක දසුන් ශානක සහ පරාජිත නායක කයිරන් පොලාඩ් පහත පරිදි තම අදහස් ප්‍රකාශ කර සිටියා,

තරඟයේ වීරයා චරිත් අසලංක,

“තරඟයක් ජයග්‍රහණය කිරීමට අර්ධ ශතකයක් ලබා ගැනීම, තරඟයේ වීරයා බවට පත් වීම සහ රට වෙනුවෙන් ක්‍රීඩා කිරීම මට සෑම විටම සතුටක් ගෙන එන කාරණයක්. මෙම තරඟාවලියට පෙර මම විස්සයි විස්ස තරඟ ගොඩක් ක්‍රීඩා කරලා තිබ්බේ නෑ. ඒත් මම ජ්‍යෙෂ්ඨයන් එක්ක කතා කරලා මගේ හැකියාවන් ඔපමට්ටම් කරගත්තා. මම අවුරුදු 5ක් ගොඩක් බලාගෙන ඉඳලා කැපකිරීම් කරලා තමයි ජාතික කණ්ඩායම නියෝජනය කරන්න ආවේ. දැන් මගේ රට වෙනුවෙන් තවත් ජයග්‍රහණයන් ලබා ගන්න මට අවස්ථාව ලැබිලා තියෙනවා. තරඟාවලිය පුරාවටම අපිට සහයෝගය ලබාදුන්න ප්‍රේක්ෂකයන් හටත් මම විශේෂ ස්තූතිය පුදකරලා සිටිනවා.”

ජයග්‍රාහී ශ්‍රී ලංකා නායක දසුන් ශානක,

“ඉතාමත්ම හොඳ ජයග්‍රහණයක්. නවක ක්‍රීඩකයන් මේ ජයග්‍රහණය ලබාගන්නට ගොඩක් මහන්සි වුණා. පන්දු යවන්නන් හොඳින්ම පන්දු යැව්වා. තරඟාවලිය පුරාවටම පන්දු යවන්නන් හොඳින් ක්‍රීඩා කළා. නිස්සංකගෙන් සහ අසලංකගෙන් කණ්ඩායමට ලැබෙන දායකත්වය ඉතාමත්ම ඉහළයි. ඔවුන්ට තව ගොඩක් දුර යන්න තියෙනවා. ඔවුන් දෙදෙනාට ඕනෑම ආකාරයක ක්‍රිකට් හොඳින් ක්‍රීඩා කළ හැකියි.

කණ්ඩායම නැවතත් හොඳ පාරට වැටිලා තියෙන්නේ. ප්‍රේක්ෂකයන් හැම වෙලාවෙම අපි වෙනුවෙන් ඉන්නවා. වනිඳු හසරංග කියන්නේ මැණිකක්. සුපිරි ක්‍රීඩකයෙක් බිහි වෙමින් ඉන්නවා. ඔහු තාම ක්‍රිකට් ජීවිතය ආරම්භ කළා විතරයි. ඔහුට තව බොහෝ දුර ගමන් කරන්නට තියෙනවා.”

පරාජිත කොදෙව් නායක කයිරන් පොලාඩ්

“අපිට ඉතාමත්ම වැදගත් තරඟය ජයග්‍රහණය කරන්නට නොහැකි වුණා. අපි හොඳින් ක්‍රීඩා කළේ නෑ. ඇත්තටම තණතීරුව හොඳ පිතිකරුවන්ට උචිත එකක්. ඒ වුණාට ලකුණු 189ක් ටිකක් වැඩි ලකුණු පුවරුවක්. ඔවුන් හොඳින් පන්දුවට පහර දුන්නා. එය මොළය පාවිච්චි කරලා ක්‍රීඩා කිරීමක්. හතරේ පහර 17ක් එල්ල කරද්දී ඔවුන් ඉනිමටම එල්ල කළේ හයේ පහර 3ක් විතරයි. අපිට ඔවුන්ව ලකුණු 120-140 සීමාවේ රඳවාගන්න අවශ්‍ය වුණා. නමුත් ඔවුන් හොඳින්ම පිතිකරණයේ නිරත වුණා. අපිට හෙට්මයර් ක්‍රීඩා කළා වගේ ක්‍රීඩා කරන්නට නොහැකි වුණා.

ඇත්තටම ඔහු හොඳ ඉනිමක් දියත් කළා. ඒක අපිට හොඳ ධන ලකුණක්. ඔහුගේ මේ රිද්මය දිගටම පවත්වා ගැනීමයි වැදගත් වන්නේ. පූරානුත් හොඳ ඉනිමක් දියත් කළා. අපිට දක්ෂයන් සිටිනවා. නමුත් අද අපිට දක්ෂතා දක්වන්නට නොහැකි වුණා. අත්දැකීම් බහුල ක්‍රීඩකයන් තම වගකීම ඉටු කළේ නෑ. ඒ ගොඩට මමත් අයිතියි. අපි මේ වගේ දෙයක් බලාපොරොත්තු වුණේ නෑ. හැබැයි ඒක සිදු වුණා. අත්දැකීම් ලබමින් නව පාඩම් ඉගෙන ගෙන ක්‍රීඩා කරන්නටයි අපි බලාපොරොත්තු වෙන්නේ.”