බොක්සිං දින ටෙස්ට් තරඟය ආරම්භ වන්නේ දෙසැම්බර් 26 වෙනිදා එනම් නත්තලට පසු දිනයි. ඉතිහාසයේ පළමු වරට බොක්සිං දින ටෙස්ට් තරගය නමින් ටෙස්ට් තරගයක් පැවැත්වූයේ 1980 දීය. ඉතින් අපි බලමු මොකක්ද මේ බොක්සිං දින ටෙස්ට් තරගය කියන්නේ කියලා.

මෙම වසරේදී බොක්සිං දින ටෙස්ට් තරගය වෙනුවෙන් ඉන්දියාව, දකුණු අප්‍රිකාව, ඕස්ට්‍රේලියාව සහ පකිස්තානය මේ වන විටත් සූදානමින් පසුවෙයි. බොක්සිං දින ටෙස්ට් තරගය යනු නත්තල් දිනට පසුදින එනම් දෙසැම්බර් 26 වැනිදා පැවැත්වෙන ටෙස්ට් තරගයකි.

බොක්සිං දිනය නත්තලට පසු දින සමරනු ලැබේ. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ කොටසක් වූ එක්සත් රාජධානිය සහ වෙනත් රටවල මෙම දිනය සමරනු ලැබේ. එම රටවල් අතරට ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, කැනඩාව, නයිජීරියාව, ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ සහ දකුණු අප්‍රිකාව ඇතුළත් වේ.

බොක්සිං දිනය ආරම්භ වූ ආකාරය ගැන මෙලෙසින් කියවේ. වර්ෂ 1800 කාල වකවානුවේ දී වික්ටෝරියා රැජිනගේ පාලනය යටතේ, පහළ සේවකයින්ට නත්තල් සමයේදී ඔවුන්ගේ ස්වාමිවරුන් අතින් තෝරාගත් තෑගි පිරිනමන ලද බව කියනු ලැබේ. එලෙස ලබා දුන් තෑගි ‘නත්තල් පෙට්ටිය(Christmas Box)’ ලෙස හැදින්වීය. එම දිනය ඔවුන් ‘බොක්සිං දිනය(Boxing Day)’ ලෙස හදුන්වන්නට පටන් ගෙන ඇත.මෙම සම්ප්‍රදාය ඉංග්‍රීසි පල්ලි හරහා ව්‍යාප්ත විය. නත්තල් උත්සවයෙන් පසු පල්ලිවල විවෘත කරන ලද පෙට්ටි දුප්පත් මිනිසුන්ට ලබා දෙන ලදී.

බොක්සිං දින ක්‍රිකට් තරග වල ආරම්භය සනිටුහන් වන්නේ 1892දීය. එම වසරේ, MCG විසින් ෂෙෆීල්ඩ් පළිහ තරගයක් පැවැත් වූ අතර එය නත්තල් සමයේදී වික්ටෝරියා සහ නිව් සවුත් වේල්ස් අතර තරගයක් පැවැත්වීමේ සම්ප්‍රදායක් බවට පත් කළේය. කෙසේ වෙතත්, පළමු ජාත්‍යන්තර බොක්සිං දින ටෙස්ට් තරගය පැවැත්වුණේ 1950 එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතරයි. නමුත් එම ටෙස්ට් තරගය අප දකින ආකාරයට දෙසැම්බර් 26 වැනිදා ආරම්භ වූයේ නැත. ඒ වෙනුවට එය දෙසැම්බර් 22 වැනිදා ආරම්භ වූ අතර එය දෙසැම්බර් 26 වැනිදා නැවත ආරම්භ වීමට පෙර දින දෙකක විවේකයක් ලැබිණි.

පළමු වරට ටෙස්ට් තරගයක් බොක්සිං දිනයේ ආරම්භ වූයේ 1968 වසරේ බටහිර ඉන්දීය කොදෙව්වන් ඕස්ට්‍රේලියාවේ සංචාරය කළ අවස්ථාවේදීය. නමුත් 1980 වසරේ සිට ඔස්ට්‍රේලියාව සෑම වසරකම බොක්සිං දින ටෙස්ට් තරගයක් පවත්වයි, එය දෙසැම්බර් 26 ආරම්භ වේ. කෙසේ වෙතත්, 1989 දී ඕස්ට්‍රේලියාව ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව එක්දින තරගයක් ක්‍රීඩා කළේය. ඒ හේතුවෙන් ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර බොක්සිං දින ටෙස්ට් තරගයක් නොපැවැත්විණි.

නමුත් වර්තමානයේ දී සෑම වසරකම Boxing Day ටෙස්ට් තරඟයක් මෙල්බන්හි දී පැවැත්වෙන අතර, දකුණු අප්‍රිකාව සහ නවසීලන්තය වැනි රටවල් ද මෙම දිනයේ දී සම්ප්‍රදායික බොක්සිං දින ටෙස්ට් තරඟයට සත්කාරකත්වය දරයි.