ශ්‍රී ලංකා රග්බි (SLR) සඳහා පනවා තිබූ තහනම ඉවත් කරන බව ලෝක රග්බි සම්මේලනය නිල වශයෙන් ප්‍රකාශයට පත් කොට ඇත. පසුගිය සිකුරාදා එම නිවේදනය නිළ වශයෙන් නිකුත් කළ අතර ප්‍රධාන එකඟතා තුනකට එළඹීමෙන් අනතුරුව රග්බි තහනම ඉවත් කොට ඇත.

ලෝක රග්බි සම්මේලනය,ආසියානු රග්බි සම්මේලනය විසින් ශ්‍රී ලංකා රජය සහ අදාළ පාර්ශ්වකරුවන් සමඟ සාකච්ඡා කර, 2024 මාර්තු දක්වා වත්මන් නිලධාරීන්ට ඔවුන්ගේ වගකීම් ඉටු කිරීමට ඉඩ දීමේ අවශ්‍යතාවය පැහැදිලි කොට ඇති අතර ශ්‍රී ලංකා රජය හා රග්බි බළධාරීන් ප්‍රධාන කොන්දේසි තුනකට එකඟ වී ඇත. මෙම කොන්දේසි යටතේ මූලික වශයෙන් සදහන් කොට ඇත්තේ ලෝක රග්බි සම්මේලනය හෝ ආසියානු රග්බි සම්මේලනය විසින් අත්හිටුවා ඇති සාමාජිකයන්ට පරිපාලනයේ කොටස්කරුවෙකු වීමට නොහැකි වීමයි. ඒ අනුව හිටපු සභාපති රිස්ලි ඉල්ලියාස්හට එම තනතුරට පත්වීම වලක්වා ඇත.

ශ්‍රී ලංකා රග්බි පාපන්දු සම්මේලනයට පනවා තිබූ තහනම ඉවත් කිරීමට සහ ස්ථාවර කිරීමේ කමිටුව පිහිටුවීමේ නියෝගය අවලංගු කිරීමට ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යවරයා එකඟ වී ඇති බව ලෝක රග්බි සම්මේලනයෙහි නිල ප්‍රකාශයේ සඳහන් වේ. මෙයට අමතරව ලෝක රග්බි විධායක මණ්ඩල සාමාජික සහ කවුන්සිලයේ ආසියානු නියෝජිත ඇඩා මිල්බිගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සමාලෝචන කණ්ඩායමක් පිහිටුවීමට නියමිතය.

මෙම කණ්ඩායම ශ්‍රී ලංකා ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය, ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව, ශ්‍රී ලංකා රග්බි,ක්‍රීඩා සමාජ, විනිසුරුවන් සහ පාසල්වල නියෝජිතයින්ගෙන් සමන්විතය. ලෝක රග්බි අතුරු නීතිවලට අනුකූලව ලෝක රග්බි සම්මේලනය විසින් ශ්‍රී ලංකා රග්බි සංගමය අත්හිටුවීමට තීරණය කළේ 2023 මැයි මාසයේදී පාලනය සහ දේශපාලන මැදිහත්වීම් සම්බන්ධ ලෝක රග්බි අතුරු නීති උල්ලංඝනය කිරීම හේතුවෙනි.