ලෝක රග්බි කවුන්සිලය විසින් ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාවට පනවා තිබූ තහනම මීට දින කිහිපයකට පෙර, පැරීසියේ දී පැවති රැස්වීමකදී ඉවත් කළ බව ආසියානු රග්බි සම්මේලන සභාපතිවරයා තහවුරු කොට ඇත.

ආසියානු රග්බි සම්මේලනයේ සභාපති කයිස් අල් දලායි සහ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ අතර ඩුබායි දී පැවති හමුවකදී ඔහු මේ බව තහවුරු කොට ඇත. එම තීරණය නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව ද වැඩිදුරටත් සඳහන් කළේ ය.

තවද, මෙහිදී රග්බි ක්‍රීඩාවේ අභිවෘද්ධිය සඳහා සැලකිය යුතු දායකත්වයක් ලබා නොදෙන සංගම්හි ඡන්ද අයිතිය ඉවත් කරමින්, ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාවේ අනාගතය වෙනුවෙන් නව උපාය මාර්ගික ක්‍රමවේදයන් සැකසීම සඳහා ව්‍යවස්ථාවට අවශ්‍ය සංශෝධන ඇතුලත් කිරීම පිළිබඳව එහිදී වැඩිදුරටත් සාකච්ඡා කර ඇත.

ශක්තිමත් පාලන ව්‍යූහයක් නිර්මාණය කිරීමටත්, ඉදිරියේදී ජාත්‍යන්තර තරග සඳහා ඉදිරිපත්වීමට ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමට අවස්ථාව ලබාදීම පිළිබඳව ලෝක සහ ආසියානු රග්බි සම්මේලනයන්හි නිලධාරීන්ට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ස්තූතිය පුද කළේය.

ශ්‍රී ලංකා රග්බි පාලනය පිළිබඳ කනස්සල්ලට සහ දේශපාලන මැදිහත්වීම් සම්බන්ධ ලෝක රග්බි අතුරු නීති කඩකිරීමකට ප්‍රතිචාර වශයෙන්, ලෝක රග්බි කවුන්සිලය 2023 වසරේ මැයි මාසයේදී ශ්‍රී ලංකා රග්බි සාමාජිකත්වය අත්හිටුවන ලදී.