ශ්‍රී ලංකාව, පාකිස්තානය හා බංග්ලාදේශය අතර පැවති වයස අවුරුදු 19න් පහළ කාන්තා තුන්කොන් තරගාවලියේ ශූරතාවය දිනාගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පසුගියදා සමත් වුණා. ඒ අවසන් මහා තරගයේදී බංග්ලාදේශ යොවුන් කණ්ඩායම පරාජයට පත් කරමිනි.

බංග්ලාදේශයේ ශෙයික් කමාල් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති අවසන් මහා තරගයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළහ. ඒ අනුව පිටියට පිවිසෙන ඔවුන් නියමිත පන්දුවාර විස්ස තුළ කඩුලු 3ක් දැවී ලකුණු 148ක් රැස්කිරීමට සමත් විය. එහිදී නෙත්මි සේනාරත්න පන්දු 57කදී හතරේ පහර 8ක් සමගින් නොදැවී ලකුණු 66ක් රැස්කිරීමට සමත් වද්දී අනෙක් ආරම්භක පිතිකාරිණිය වූ දෙව්මි විහන්ගා පන්දු 42කදී හතරේ පහර 2ක් හා හයේ පහර 4ක් සමගින් ලකුණු 49ක් රැස්කිරීමට සමත් විය.

ජයග්‍රහණය වෙනුවෙන් පිටියට පිවිසෙන බංග්ලාදේශ ක්‍රීඩිකාවන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 112ක් පමණි. ඉනීමේ වැඩිම ලකුණු ලාභිනිය වූ රබේයා ඛාන් ලකුණු 31ක් රැස්කිරීමට සමත් විය. පන්දු යැවීමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් දෙව්මි විහංගා ලකුණු 13කට කඩුලු 3ක් ද රශ්මි සංජනා හා යසන්ති නිමන්තිකා කඩුලු 2 බැගින් ද දවාගැනීමට සමත් විය. තරගයේ වීරයා ලෙසින් තුන් ඉරියව්වවෙන් දස්කම් පෑ දෙව්මි විහංගා සම්මානයට පාත්‍ර විය. ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් මෙම තරගාවලියේ ආරම්භක තරගය බංග්ලාදේශය හමුවේ පරාජයට පත් වූ නමුත් සාර්ථක අන්දමින් තරගාවලිය අවසන් කිරීමට සමත් වීම මෙහිදී කැපී පෙනෙන සිදුවීමක් බවට පත් විය.