අන්තර් සමාජ එක්දින තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය අද දිනයේදී පැවැත්විණි. කොළඹ NCC ක්‍රීඩාංගණයේදී පැවති මෙම තරගය වෙනුවෙන් සුදුසුකම් ලබා සිටියේ සෙබස්‍තීයනයිට්ස් ක්‍රීඩා සමාජය හා බදුරලිය ක්‍රීඩා සමාජයයි.

තරගයේ කාසිය වාසිය දිනූ සෙබස්‍තීයනයිට්ස් ක්‍රීඩා සමාජය පළමුව පන්දුවට පහර දීමට ප්‍රතිවාදීන්ට ආරාධනා කළහ. නමුත් සෙබස්‍තීයනයිට්ස් පන්දු බලඇණිය හමුවේ බදුරලිය ඉනීම ලකුණු 108කට සීමා විය. ඉනීමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ රොහාන් සංජය පන්දු 50කදී ලකුණු 27ක් රැස්කිරීමට සමත් විය.

පන්දු යැවීමේදී සෙබස්‍තීයනයිට්ස් ක්‍රීඩා සමාජය වෙනුවෙන් ඉසිත විජේසුන්දර, චරිත් රාජපක්ෂ හා තරිඳු රත්නායක කඩුලු 2 බැගින් දවාගැනීමට සමත් විය. ඉලක්කය හඹායාමට පිටියට පිවිසෙන සෙබස්‍තීයනයිට්ස් ආරම්භක පිතිකරු යුගලය වූ තුලින දිල්ෂාන් හා නවිදු විතානගේ නොදැවී ලකුණු 53 බැගින් රැස්කරමින් කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියහ. ඒ අනුව පළමු අවසන් පූර්ව තරගයෙන් කඩුලු 10ක ජයක් ලැබූ සෙබස්‍තීයනයිට්ස් ක්‍රීඩා සමාජය අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීය.