ඕමානය සමගින් පැවති දෙවන සහ අවසන් විස්සයි විස්ස තරඟය කඩුලු 5 කින් ජයග්‍රහණය කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම තරඟාවලියද 2-0 ක් ලෙසින් ජයග්‍රහණය කිරීමට සමත් විය. තරඟය ආරම්භ වූයේ ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 8 ට පමණ ඕමානයේ අල් අමරාට් ක්‍රීඩාංගනයේදීය.

මෙවර තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා නායක දසුන් ශානක විසින් ඕමානයට ප්‍රථමයෙන්ම පන්දුවට පහර දීමට ආරාධනා කළේය. ඕමානයට බලාපොරොත්තු වූ ආරම්භය ලබා ගැනීමට ඉඩ නොදුන් බිනුර ප්‍රනාන්දු විසින් ජටින්දර් සිං ගේ කඩුල්ල බිඳ හෙලන විට ඕමාන ලකුණු පුවරුව සටහන් වූයේ ලකුණු 15ක් ලෙසිනි. අනතුරුව චාමික කරුණාරත්න විසින් පිටියේ ස්ථාවර වෙමින් සිටි කාශ්‍යප් ප්‍රජාපතී ගේ කඩුල්ල දවා ගත්තේය. ඕමානය Powerplay අවස්ථාව තුළදී කඩුලු 2ක් දැවී ලකුණු 44ක් රැස් කිරීමට සමත් විය.

අනතුරුව පිටියේ ස්ථාවර වෙමින් ආකිබ් ඉල්යාස් සහ නායක ශෙෂාන් මක්සූඩ් විසින් තරඟය ඕමානය දෙසට ගැනීමට උත්සාහ කළත් බිනුර ප්‍රනාන්දු විසින් රැකගත් විශිෂ්ට උඩපන්දුව නායක ශෙෂාන් ගේ ඉනිම නිමා කිරීමට සමත් වූයේය. නමුත් ඕමාන ඉනිමේ නැංගුරම බවට පත් වූ ආකිබ් ඉල්යාස් විසින් පන්දු 38 කදී හතරේ පහර 3ක් සහ හයේ පහර 4ක් සමගින් ලකුණු 60ක විශිෂ්ට ඉනිමක් දියත් කළේ ඕමානයට සටන්කාමී ලකුණු පුවරුවක් කරා ගමන් කිරීමට අවශ්‍ය අඩිතාලම සකසමිනි. ඕමාන ඉනිමේ මැද භාගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ දුර්වල පන්දු රැකීම කැපී පෙනුන අතර උඩපන්දු කිහිපයක්ම ගිලිහෙන ආකාරයද දක්නට ලැබුණි.

ඉනිමේ අග භාගයේදී ශ්‍රී ලංකා පන්දු යවන්නන් විසින් ඕමාන කඩුලු දවා ගනිමින් නැවත වතාවක් තරඟය ශ්‍රී ලංකාවේ සීමාව වෙතට රැගෙන ඒමට සමත් වූ අතරම විශිෂ්ට පන්දු යැවීමක් පෙන්නුම් කල වේග පන්දු යවන ළහිරු කුමාර විසින් තම පන්දුවාර 4 තුළදී නිලකුණු පන්දුවාරයක්ද සමගින් ලකුණු 20 කට කඩුලු 2ක් බිඳ හෙලුවේය. මේ හේතුවෙන් පළමුවෙන් පන්දුවට පහර දුන් ඕමාන ඉනිම පන්දුවාර 20 අවසානයේදී කඩුලු 8ක් දැවී ලකුණු 159ක් ලෙසින් නිමාවට පත් විය.

ලකුණු 160 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පැමිණි ශ්‍රී ලංකාව වෙනුවෙන් දිනේශ් චන්දිමාල් විසින් වේගවත් ආරම්භයක් ලබා ගත්තේය. ඔහු පන්දු 8ක් තුළදී හතරේ පහරක් සහ හයේ පහර 2ක් ද සමගින් ලකුණු 18ක් රැස් කළේය. නමුත් නැවත වතාවක් Powerplay අවස්ථාව තුළදී ශ්‍රී ලංකාවේ දෙවනි කඩුල්ලද බිඳ වැටුණු අතර චරිත් අලංකගේ ඉනිම ලකුණු 5 කට සීමා විය. නැවත වතාවක් පළමු තරඟය සිහි කරමින් අවිශ්ක ප්‍රනාන්දු විසින් ශ්‍රී ලංකා ඉනිමේ වගකීම කරට ගත් ඉනිමක් දියත් කළද පන්දු 18ක් තුළදී හයේ පහර 3ක් සමගින් ලකුණු 33ක් රැස් කිරීමට ඔහු වගබලාගත්තේය. පැතුම් නිස්සංකගෙන් පසුව අවිශ්ක ප්‍රනාන්දු සහ නායක දසුන් ශානක දැවී යාමත් සමගින් ලකුණු 89 කට කඩුලු 5ක් ලෙසින් ශ්‍රී ලංකා ඉනිම අවධානම් අඩියකට පත්වූයේ තරඟය නැවතත් දෙපිලටම විවෘත කරමිනි.

නමුත් එම අවස්ථාවේදී තම වගකීම හඳුනාගත් භානුක රාජපක්ෂ සහ චාමික කරුණාරත්න විසින් ශ්‍රී ලංකා ඉනිම නැවත ගොඩනැගීම ආරම්භ කරන ලදී. පන්දු 21ක් තුළදී හයේ පහර 2ක් සමගින් භානුක රාජපක්ෂ නොදැවී ලකුණු 35ක් සහ පන්දු 26 කදී හයේ පහර 3ක් සමගින් චාමික කරුණාරත්න නොදැවී ලකුණු 35ක් රැස් කළේ පන්දුවාර 17.3ක් තුළ ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා රැගෙන යමිනි. මෙහිදී ඔවුන් දෙදෙනා විසින් 6 වන කඩුල්ල සඳහා පන්දු 44 කදී නොබිඳුනු ලකුණු 73 ක සබඳතාවයක් පැවැත්වීමද කැපී පෙනේ. ඒ අනුව ශ්‍රී ලංකාව තරඟය කඩුලු 5 කින් ජයග්‍රහණය කළ අතරම තරඟාවලියද 2-0 ක් ලෙසින් ජයග්‍රහණය කරමින් විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා ජයග්‍රාහී ගමනක් ආරම්භ කිරීමේ පදනම සකසා ගත්තේය.

තරඟ සාරාංශය

ඕමානය 159-8 (20)
ආකිබ් ඉල්යාස් 60(38), කාශ්‍යප් ප්‍රජාපතී 22(19), අයන් කාන් 20(26)
ළහිරු කුමාර 20/2, චාමික කරුණාරත්න 39/2, බිනුර ප්‍රනාන්දු 9/1

ශ්‍රී ලංකාව 163-5 (17.3)
භානුක රාජපක්ෂ 35(21)*, චාමික කරුණාරත්න 35(26)*, අවිශ්ක ප්‍රනාන්දු 33(18)
මොහමඩ් නදීම් 22/2, ෆයාස් බට් 30/1