එක්දින ලෝක කුසලාන ඉතිහාසය දෙස අවදානය යොමු කරන විට මංගල තරගාවලිය ආරම්භ වන්නේ වසර 1975දීය. එතැන් පටන් වසර හතරකට වරක් පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලීන් ක්‍රිකට් ප්‍රේක්ෂක මතකයේ සුවිශේෂී මතක රැසක් ඉතිරි කරන්නට විය. එක්දින ලෝක කුසලාන ඉතිහාසය තුළ වඩාත්ම ප්‍රියතම ඉනීම් ත්‍රිත්වය ලොව ප්‍රකට ESPNCricinfo පිටුව මගින් නම් කොට ඇත.

 

 

ඔවුන් නම් කළ එක්දින ලෝක කුසලාන ඉතිහාසය තුළ ප්‍රියතම ඉනීම් ත්‍රිත්වය අතරට ශ්‍රී ලංකා හිටපු සුපිරි පිතිකරු අරවින්ද සිල්වාගේ ඉනීමක් ද ඇතුළත්ය. ඒ වසර 1996 ලෝක කුසලාන අවසන් පුර්ව තරගයේදී ඉන්දීය කණ්ඩායමට එරෙහිව අරවින්ද ක්‍රීඩා කළ විශිෂ්ට ඉනීමයි. ශ්‍රී ලංකා මුල්පෙළ අසාර්ථක වද්දී ඉන්දීය පන්දු යවන්නන්ට එරෙහිව පන්දු 47කට පමණක් මුහුණ දෙමින් හතරේ පහර 14ක්ද ඇතුලුව වේගවත් ලකුණු 66ක් රැස්කිරීමට එදා අරවින්ද සමත් වූයේ ශ්‍රී ලංකාව අවසන් මහා තරගයට රැගෙන යාමට මං මාවත් විවර කරමිනි.

 

ESPNCricinfo නම් කළ සෙසු ඉනීම් දෙක අතරට 1999 ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව තරගයේදී ලාන්ස් ක්ලූස්නර්ගේ පිත්තෙන් එල්ල වූ වේගවත් ප්‍රහාරය ද ඇතුළත් කොට ඇත. දකුණු අප්‍රිකානු කණ්ඩායම ලෝක කුසලාන අවසන් මහා තරගයට රැගෙන යාමේ අභිලාෂයෙන් ඔහු පන්දු 16කදී හතරේ පහර 4ක් හා හයේ පහරක් සමගින් වේගවත් ලකුණු 31ක් නොදැවී රැස්කළ ද අනෙක් අන්තයේ පිතිකරුවන්ගේ නොසැලකිල්ල හමුවේ ලකුණු සමවී පරාජයට පත් වන්නට සිදුවිය.

 

ලෝක කුසලාන ඉතිහාසයේ අනෙක් ප්‍රියතම ඉනීම ලෙසින් නම් කොට ඇත්තේ පසුගිය වර ලෝක කුසලාන තරගාවලියේදී නවසීලන්තයට එරෙහිව කොදෙව් ක්‍රීඩක කාලෝස් බ්‍රැත්වේට් වාර්තා කළ විශිෂ්ට ශතකයයි. බ්‍රැත්වේට් කොදෙව් පිළ ජයග්‍රහණය කරා රැගෙන යාමට පන්දු 82කදී හතරේ පහර 9ක් හා හයේ පහර 5ක් සමගින් අගනා ලකුණු 101ක් රැස්කළ අතර නොසිතූ නිමේෂයක දී එල්ල කළ හයේ පහර උඩපන්දුවක් බවට පරිවර්තනය වූයේ ලකුණු 5ක පරාජයක් කොදෙව්වන්ට උරුම කරමිනි.