ඕමානයට එරෙහිව පැවැත්වෙන පුහුණු තරග 2 කට සහභාගිවීම සඳහා දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (04 දා) මධ්‍යාහ්නයේදී ඕමානය බලා පිටත් විය. මූලික සැලසුම අනුව ශ්‍රී ලංකා පිලට පිටත්ව යෑමට නියමිතව තිබුණේ ඊයේ (ඔක්තෝබර් 03 වැනිදා ) වුවත් ඕමානයේ පැවැති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කණ්ඩායම පිටත්වීම දිනකින් ප්‍රමාද කිරීමට සිදුවිය.

ලබන 17 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආරම්භ වන පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙරහුරු තරගාවලියක් ලෙසින් ඕමානයට එරෙහිවූ මෙම පන්දුවාර විස්සයි-20 තරග දෙකට ක්‍රීඩා කරනු ලබන ශ්‍රී ලංකා කණ්ඩායම එම තරග දෙකෙන් පසුව ලබන 10 වැනිදා ලෝක කුසලාන තරගාවලිය සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පැමිණීමට නියමිතව තිබේ.